2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

බුදුදහමට නිගරු එපා ඉස්ලාම් සංවිධාන හඬ නගයි

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:31 172

මෑත කාලයේ සිදුවූ ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් ජමියතුල් උලමා සභාව හා තවත් මුස්ලිම් සංවිධාන එකමුතුව ඒකාබද්ධ ප්‍රකාශනයක් නිකුත් කර ඇති අතර එයින් කියවෙන්නේ ජාතීන් අතර සාමය හා සහජීවනය කඩ කරන ලද ඇතැම් ක්‍රියාකාරීත්වයන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව සාමය හා සහජීවනය කඩවන ක්‍රියාවන් තරයේ හෙළා දකින බවත්ය. ඔවුන් එහිදී ඉල්ලා සිටින්නේ එවැනි අක්‍රමිකතා සිදු කළ වුවත් කිසිදු පැකිලීමකින් තොරව විමර්ශන සිදුකොට දඬුවම් පැමිණවිය යුතු බවය. මෙහිදී මුස්ලිම් ප්‍රජාව ලෙස බෞද්ධ සමාජයේ හැඟීම් අවුළුවන සුළු සිදුවීම් මාධ්‍ය මගින් වාර්තා කිරීමේදී ඉතා වගකීම් සහගත ලෙස සිදුකළ යුතු බවත්ය.

විශේෂයෙන් ලංකාවේ ජාතීන් අතර හොඳ හිත පළුදු වීම සඳහා බලපානු ලබන අසත්‍ය ප්‍රචාර, කටකතා හා බොරු වාර්තා වෙනුවෙන් ඔවුන්ගේ සංවේගය පළකර තිබේ. පසුගිය කාලයේ ජාතීන් අතර සාමය කඩවන ප්‍රචණ්ඩකාරී සිදුවීම් හා දේපල විනාශ කිරීම්, ජීවිත හානි සිදුකිරීම් පිළිබඳව ද එමඟින් දැඩි සංවේගය පළකර ඇත. එවැනි අන්තවාදී ප්‍රවණතා සම්බන්ධයෙන් රජය මීට වඩා දැඩි ක්‍රියාමාර්ග ගතයුතු බවත් පෙන්වා දී තිබේ. එහිදී බුද්ධි අංශ, නීතිය හා සාමය ආරක්ෂා කරන පොලීසිය, සැමට ආරක්ෂාව සලසන ත්‍රිවිධ හමුදාව, අධිකරණය හා රටේ නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන ප්‍රතිපත්ති සැලසුම් සම්පාදනය කරන රජය මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු යැයි අවධාරණය කර සිටී.

මේ සඳහා නිමිත්ත වී ඇත්තේ මෑත කාලයේ බුදු දහමට අගරුවන ආකාරයට සිදු වූ ඇතැම් සිදුවීම් බව ඉස්ලාම් සංවිධාන කියා සිටී.

ජාතීන් අතර සංහිඳියාව නොමැති වීම නිසා උවමනාවටත් වඩා අතෝරවලට මුහුණ දීමට අපට සිදු වූ බව නොරහසකි. සුපුරුදු පරිදි 30 අවුරුදු යුද්ධයේ කතාව මෙතැනදී අපට මතක් වේ. එමෙන්ම යුද්ධයෙන් පසුව ගෙවුණු සමයේද බෞද්ධ හා ඉස්ලාම් බැතිමතුන් අතර මෙරට වාර්ගික ආතතියන් නිර්මාණය කරනු ලැබීය. ජාතික සංහිඳියාව වෙනුවෙන් එම සංවාදය වැදගත් සංවාදයක් කරගත යුතුව තිබියදී එය ඇදී ගියේ ඉතා විනාශකාරී පෙදෙස් සොයාය. එහි ප්‍රතිඵලය වූයේ දර්ගා මාවත්, ගිංතොට හා තෙල්දෙණිය වාර්ගික ගැටුම් ද ඒ හා සමාන තවත් සිද්ධීන්ය.

මෙම පසුබිමක බුදු දහමට නිගා දෙන සිදුවීම් ද මේ සඳහා තව රුකුල් දීමක් බවට පත්විය. මුස්ලිම් සංවිධාන විසින් මෙවැනි ඉල්ලීමක් කිරීම හා මෙවැනි ඒකාබද්ධ ප්‍රකාශනයක් නිකුත් කිරීමට හේතුව වී ඇත්තේ ඉතා මෑතකදී සිදු වූ එවන් සිදුවීම් කිහිපයකි.

වනාතවිල්ලුව සිදුවීම එවන් සිදුවීමක් විය. මෙහිදී අල්ලාගත් සැකකරුවන් මුස්ලිම් ජාතිකයන් වූ අතර ඔවුන් සතුව පුපුරණ ද්‍රව්‍ය තිබිණි. එම සැකකරුවන් මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම විනාශ කිරීම සඳහා දායක කූපක්‍රට අයවලුන් බවට ද හඳුනාගනු ලැබිණි.

ලංකාවේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව ශත වර්ෂ ගණනාවක් තිස්සේ සාමකාමීව වාසය කර තිබුණි. 1915 සිංහල - මුස්ලිම් කෝලාහලය හැරුණුකොට අතීතයේ සිංහල - මුස්ලිම් ජනතාව අතර හොඳ හිත පළුදු වූ අවස්ථා මහා පරිමාණයෙන් නැත.

නමුත් යුද්ධය අවසන් වූ පසුව 2012 සිට  පමණ සිංහල හා මුස්ලිම් ජනතාව අතර ආතතියක් නිර්මාණය කරන්නට ඇතැම් අන්තවාදී පිරිස් උත්සාහ ගත් අතර ඊට සමානව නැතත් තවත් ඒ ආකාරයෙන්ම ප්‍රතිචාර දැක්වීමක් සඳහා මුස්ලිම් අන්තවාදී අදහස් දරන්නන් ද උත්සාහ ගෙන තිබුණි.

නමුත් මේ අවස්ථාව ඔඩු දුවන්නට නොදී එය සමථයකට පත් කරන්නට රජයට ඉක්මිනින් ක්‍රියාත්මක වීමට හැකිව තිබුණ ද රජය එසේ කළේ ඉතා සෙමින් බවට චෝදනා නැගුණි. එය පසුකාලයේ ජනතාව අතර සංහිඳියාව තුනී වීමට දැඩිව බලපෑවේය.

කෙසේ වුවද දැන් අපට පෙනෙන පරිදි රජය යම්තාක් දුරකට එම තත්ත්වය සමනය කර ඇත. නමුත් ජනතාව අතර සංහිඳියාවක් තවම හොඳාකාරව ගොඩනැගී නැත. එහෙයින් මෙම අවස්ථාවේදී ආගමික නායකයන්ගේ විශාල දායකත්වයක් අවශ්‍ය වේ. එනිසා මුස්ලිම් ආගමික සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශනය සංහිඳියාව වෙනුවෙන් ගන්නා අගනා ප්‍රවේශයක් ලෙස අගය කළ හැකිය.

අප රට තුළ තවම ජනතාව අතර ගැටුම් නිසා ඇති සිත් පෑරවීම් - සුවපත්වීම් නොමැත. සුවපත් වීම යනු සංහිඳියාවේ හා සංක්‍රාන්තික යුක්තියේ ඉතා වැදගත් අවස්ථාවක් වේ. ජනතාව සිය අතීතයෙන් ඈතට ඇදී යා යුතු වේ. ඔවුන් ඉතා හොඳින් සුවපත් විය යුතුය. සිය සිත්වල බැඳි සැක, බිය, සාංකාව, ක්‍රෝධය හා වෛරය පුපුරණසුළු සිදුවීම් නම් නිතරම මාධ්‍ය හරහා විකාශනය වනුයේ ජනතාවට සුවපත්වීමට අවස්ථාවක් නැත. එමෙන්ම සමාජයීය සිද්ධීන් බොහෝමයක් සිදුවන්නේ වාර්ගිකමය දිශානතියකට යන තත්ත්වයක නම් කිසිසේත්ම ජනතාව සුවපත් වී නැත.

එහෙයින් ජනතාව වෙනුවෙන් මෙසේ ආගමික නායකයන් ඉදිරිපත් වීම අගනා අදහසක් වේ. දකුණු අප්‍රිකාවේ සාමය හා සංහිඳියාව ක්‍රියාවලියේත් කතෝලික පූජකවරයකු වූ ඩෙස්මන් ටුටූ පියතුමාගේ භූමිකාව ඉතා වැදගත් විය. ඔහු ඉතා සාර්ථකව නෙල්සන් මැන්ඩෙලා සමඟ ද එක්ව දකුණු අප්‍රිකාවේ වර්ණ බේදවාදයෙන් අන්ධ වූ තුවාල වූ හදවත් සුවපත් කිරීම සඳහා කටයුතු කළේය. එම ක්‍රියාවලිය බොහෝ සාර්ථක වූ අතර නොබෙල් සාම ත්‍යාගය පවා ඒ වෙනුවෙන් හිමිවිය. 

වතිකානුවේ පාප් වහන්සේ ද ආගමික නායකයකු ලෙස මතු නොව ඉතා සාර්ථක රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස ලෝක දේශපාලන හෝ ගැටුම් සමථකරණය සඳහා ඉදිරිපත් වනු දක්නට ලැබේ. උන්වහන්සේගේ නවතම සම්ප්‍රාප්තිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි. අරාබි අර්ධද්වීපයට පැමිණි පළමු පාප් වහන්සේ ද උන්වහන්සේය. යුද ගැටුම්වලින් පීඩාවට පත් වූ අරාබියට පාප් වහන්සේගේ සම්ප්‍රාප්තිය සාමය හා සහෝදරත්වයට ඉතා වැදගත් වේ. උන්වහන්සේ මියන්මාරය තුළ මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් ද හඬ නැගීය. උන්වහන්සේ මැද පෙරදිග අර්බුද සම්බන්ධයෙන් ද හඬ නගයි. ලොව කොතැන කවර තැනක කුමක් වුවද උන්වහන්සේගේ හඬ අනිවාර්යයෙන් නික්මෙයි.

අද ලෝකයට අවශ්‍ය කරන්නේ අඳුරු, ශාන්ත, නිහඬ හා ගුප්ත දේවස්ථාන, පන්සල්, පල්ලි, කෝවිල් තුළ සීමා වූ පූජකවරුන් නොවේ. ගිනි ගනිමින් දැවෙන ලෝකයට වැදගත් වන්නේ ඉතා හොඳින් සමාජ ප්‍රශ්න කළමනාකරණය කරනු ලබන, ඒ සඳහා නිර්මාණශීලීව මැදිහත් විය හැකි පූජකවරුන් පිරිසකි.

එහෙයින් ඉස්ලාම් ආගමික සංවිධාන එකමුතුව මෙසේ ප්‍රකාශනයක් කිරීම වැදගත් වන්නේ එය පූජකවරුන් විසින් කරන ලද්දක්ම නිසා නොව අද බොහෝ ගැටුම්වලට සම්බන්ධ පාර්ශවකරුවන් වෙන මුස්ලිම් සමාජයේ යහමග සඳහා ජනතාව ප්‍රවේශ කරවීම ඉතාමත් වැදගත් හා උවමනාම කාර්යයක් වන නිසාය

එම්. ඉෂාක්