2019 ජනවාරි 05 වන සෙනසුරාදා

ලංකාවට කුඩු ගේන බංග්ලාදේශයේ වෙලේ සුද්දී වැටලීම

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:31 463

ලංකාව තුළ මත් කුඩු නිෂ්පාදනය කරනවාද යන්න සැකයක් ඇති වෙන තරම්ම දැන් රටේ මත්ද්‍රව්‍ය එමටය. ඉස්සර මෙන් ග්‍රෑම් 25 ක් 50ක් නොව දැන් හෙරොයින් කොකේන් හසුවන්නේ කිලෝ ගණනින්ය. බොහෝ විට කිලෝ 100,200ටත් එහාය. ඒ තරම් මත්කුඩු අපේ රටේ බහුලව අසු වෙමින් තිබේ. පසුගිය වසර දෙක ඇතුළත කෝකේන්ම ටොන් ගණනක් මෙරට ආරක්ෂක අංශවලින් සොයා ගෙන තිබුණි. එහෙත් සීනිවල අසුරා මිටි ගණනින් මෙරටට එවා තිබුණත් අදටත් ඒ කොකේන් කාගේ නමට ආවාද යන්න තොරතුරක් නැත. මේ නිසා පොලීසිය සැක කරන්නේ මෙය අත්වැරදීමකින් මෙරටට පැමිණෙන්නට ඇති බවය. ඒ සඳහා ඔවුහු සාධාරණ හේතුවක් ද කියති.

එනම් බ්‍රසීලයේ 2016  වස‍රේදී ඔලිම්පික් උත්සවය පැවැත්වූ නිසා එරට ආරක්ෂක කටයුතු තරකර තිබීමය. ලෝකයේ කොකේන් නිෂ්පාදනයේ ඉහළ රටක් වූ බ්‍රසීල ජාවාරම්කරුවන් මේ හේතුවෙන් ඒ රටේ තිබූ කොකේන් ඔවුන්ගේ ප්‍රධාන අපනයන භාණ්ඩය වූ සීනි තුළ සඟවා පෘතුගාලය වෙත යැවීමට තීරණය කර ඇත. එහෙත් එලෙස යැව්වත් ඔවුන්ට ඒවා ගොඩබෑමට අවස්ථාව නොලැබී ඇති අතර මුහුද මැද සිදුවූ වෙන්දේසි හරහා එම කොකේන් අඩංගු සීනි කන්ටේනර් මෙරටට පැමිණ ඇතැයි පොලීසිය සැක කරයි. මෙය සත්‍ය විය හැක. තවත් පැත්තකින් අසත්‍ය විය හැක. ඇත්‍තම කතාව දන්නේ පොලීසියත් නොව ජාවාරම්කරුවන්ය.

ඒ කොකේන්ය. කොකේන් මෙරටට සුලබ මත්ද්‍රව්‍යයක් වූයේ ඉහත කී සිද්ධි නිසාය. නැතිනම් මෙරට කොකේන් පානය කරන පිරිස ඉතාම සීමිතය. එය සංචාරක කලාපවල පමණක් ප්‍රසිද්ධ මත්ද්‍රව්‍යයකි. එපමණක් නොව මිලෙන්ද අධිකය.
සාමාන්‍යයෙන් අපේ රටට පුරුදු එකම මත්කුඩ හෙරොයින්ය. හෙරොයින් පානය කරන්නෝ අතිවිශාලය. අඩු මුදලකට ගත හැක. එසේම බොන්නන් ප්‍රමාණයද ඉහළ නිසා මෙරට ජාවාරම්කරුවන් ද බොහෝය.

කිඹුලා ඇළ ගුණා, තෙල් බාලා, ෆාජි වැනි පාතාලයන් මේ කුඩු කතාවේ ආරම්භකයෝය. ඔවුන් ඉන්දියාව හරහා මෙම මත්කුඩු ගෙන්වීම සිදුකළ අතර කාලය ඉක්මවීමත් සමඟ මෙරට පාතාලය තුළ මුස්ලිම් පාතාලය හිස එසවීමත් සමඟ හෙරොයින් ආනයනය පාකිස්ථානය සතුවිය. එහෙත් අතීතයේ මෙරටට කුඩු ආවේ කිලෝ දෙකක් තුනක් පමණි.

එහෙත් හදිසියේ දෙවුන්දර තමිල්, සේල් වසන්ත වැනි අය එක්වීමත් සමඟ හෙරොයින් ආනයනය නැවතත් ඉන්දියාවට තල්ලු විය. එය වැඩිකල් ගියේ නැත. වෙලේ සුදා සහ මොහොමඩ් සිද්ධික් මේ ජාවාරම අතට ගැනීමත් සමඟ හෙ‍ෙරායින් මහා පරිමාණයෙන් පාකිස්ථානයේ සිට මෙරටට එන්නට විය. ඉතිහාසයේ විශාලතම හෙරොයින් රැගෙන ආවේ ඔවුන්ය. එක්වරක් ග්‍රීස් ටින්වල බහා හෙරොයින් කිලෝ 261ක් මෙරටට ගෙන එනු ලැබීය. තවත් වරක් ට්‍රැක්ටර්වලට බහා ගෙනාවේය. විවිධ ක්‍රම හරහා ගෙනා අතර ඒ සියලු දේ පිටුපස සිටියේ වෙලේ සුදා සහ මොහොමඩ් සිද්ධික්ය. අවසනයේ දෙදෙනා කොටු වූහ. ඒත් සමඟ මහා පරිමාණ හෙ‍ෙරායින් ජාවාරම නතර වුණු අතර එහෙත් හෙරොයින් කතා නිමවූයේ නැත.

මේ අතර පසුගියදා සිට නැවතත් හොරොයින් අත්අඩංගුවට ගැනීම් වැඩිවුණු අතර ප්‍රමාණය ද ඉහළ අගයක් ගත්තේය. පසුගියදා නොහිතූ මොහොතක ලංකා ඉතිහාසයේ ප්‍රථම හෙරෝයින් තොග බෙදාහැරීමේ මධ්‍යස්ථනයකුත්, වැඩිම හෙ‍ෙරායින් තොගයත් මත්ද්‍රව්‍ය කාර්යංශයේ  සහ විශේෂ කාර්ය බලකායේ මැදිහත්වීම තුළ වටලනු ලැබීය. ඒ කතාව මෙසේ දිගහරිමු.

මීට සති දෙක තුනකට ඉහත මත්ද්‍රව්‍ය කාර්යංශයට තොරතුරක් ලැබෙන්නේ මෙරට සිටින විදේශිකයන් දෙදෙනකු විසින් මත් ද්‍රව්‍ය ජාවාරම පවත්වාගෙන යන බවටය. ඒ අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයත් විශේෂ කාර්ය බලකායත් ලද තොරතුරට අනුව අදාළ විදේශිකයන් දෙදෙනා ජීවත් වූ දෙහිවල පන්සල පාරේ පිහිටි තට්ටු නිවාසය අසල ආවේෂණ රාජකාරිවල නිරත විය. දින කිහිපයක් ඔවුන් පසුපස වැටී සිටියත් මොවුන් දෙදෙනා නිවසින් එළියට යාමක් නිතර දක්නට ලැබුණේ නැත. මේ අතර පොලිස් නිලධාරීන් විවිධ ක්‍රම හරහා ඔවුන් අසලට යන්න හැදුවත් සාර්ථක වූයේ නැත. මේ අතර පොලිස් නිලධාරීහු එම නිවාස සංකීර්ණයෙන් නිවාසයක් ද ගන්නට සූදානම් වූහ. එහෙත් එය ද සාර්ථක වූයේ නැත. මේ අතර හෙරොයින් මිලදී ගැනීමට ක්‍රමයක් ද කල්පනා කළහ. එය ද සාර්ථක වූයේ නැත. අවසානයේ මොවුන් එළියට පැමිණෙන තෙක් සිට දෙදෙනා අත්අඩංගුවට ගැනීමට තීරණය කෙරිණි.

ඒ අනුව කටයුතු සැලසුම් කරද්දී පසුගියදා හිටි හැටියේම දෙදෙනා ගමන් මල්ලකුත් රැගෙන එළියට පැමිණියහ. ඒ ක්ෂණයකින් ක්‍රියාත්මක වුණු මත්ද්‍රව්‍ය කාර්යංශයත් විශේෂ කාර්ය බලකායත් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේය. එහිදී සැකකරුවන් සන්තකයේ කේක් පෙට්ටියක් ද තිබුණි.

පොලිස් නිලධාරීන් එම බෑග් සහ කේක් පෙට්ටිය පරික්ෂා කිරීමේදී එතුළ තිබී හෙරොයින් සොයා ගැනීමට හැකිවිය. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන් රැඳී සිටි නිවසට පොලිස් නිලධාරීහු ගියහ. එහිදී ද කේක් පෙටිටි තුළ තිබී හෙරොයින් සොයා ගැනීමට හැකිවිය. සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් කිලෝ 09 ක් එහිදී සොයා ගැනීමට හැකි විය.

මෙම සැකකරුවන් බංග්ලාදේශ ජාතිකයන් බව පොලීසිය හඳුනාගත්තේය. මේ අතර එක් සැකකරුවකු සන්තකයේ තිබී තවත් නිවසක යතුරු කැරැල්ලක් සොයා ගැනීමට හැකිවිය. සැකකරුගෙන් ප්‍රශ්න කරන විට ඔහු කියා සිටියේ එම යතුර වෙනත් නිවසක බවයි. එම නිවස කවුඩාන ප්‍රදේශයේ පිහිටා තිබුණි.

ඒ අනුව සැකකරුවන් ද කැටුව කවුඩාන ප්‍රදේශයේ නිවෙසට පොලීසිය ගියේය. එසේ ගොස් සැකකරු ලවා නිවසේ දොර විවෘත කර ගත්හ. පුදුමයකි. පොලීසිය පවා ගැස්සී ගියේය. ජීවිතයට නොදුටු දසුනක් එම නිලධාරීන්ට දැකගත හැකිවූහ. එනම් නිවෙස පුරාම හෙරොයින් විසිරී තුබුණේය. බිම, මේස මත, කාමර තුළ, කුස්සිය, අල්මාරි, කබඩ්, පුටු හැම තැනම හෙරොයින්ය. එපමණක් නොව කේක් සහ ඒ අසුරා ඇති කේක් පෙට්ටි, විදේශීය ගමන් මලු, තරාදි තිබුණේය.

මේ අතර එක් කාමරයක හෙරොයින් නිෂ්පාදනය කිරීමට  සකසා තිබුණි. එනම් පරණ වූ හෙරොයින් (චරස් ලෙස හඳුන්වයි) නැවත සකසා වෙළඳාමට එම ස්ථානයේ සූදානම් කෙරෙමින් තිබිණි. එසේම සකස් කරන ලද හෙරොයින් සූක්ෂම ලෙස කේක් පෙට්ටි තුළත් ගමන් මලු අඩියෙහිත් සඟවන ආකාරයට සකස් කරමින් තිබුණි. සෑම පාර්සලයකම ඇෆ්ගනිස්ථාන අක්ෂර කිහිපයක් තිබූ අතර ඒ අනුව ඒ පාකිස්ථනයේ හෙරොයින් බව හඳුනා ගැනීමට හැකි විය.

එසේම එක නිවසට කාන්තාවන් සහ පිරිමින් ආව ගිය බවට සාක්ෂි ද සොයා ගැනීමට හැකිවිය. සැකකරුවන් වචනයක් කතා කළේ නැත. පසුව එහි හෙරොයින් කිලෝ 270ක් සොයාගත්තේය. එපමණක් නොව තවත් කොකේන් කිලෝ පහක් ද එහි තිබී සොයාගත්තේය. එහිදී හෙළිවුණේ සැකකරුවන් එම නිවසේදී හෙරොයින් සකසා රට තුළත් රටෙන් පිටතත් ප්‍රවාහනය කරන බවය. එහෙත් සැකකරුවන් කතා කළේ නැත.

කෙසේ වෙතත් මීට කලින් පොලීසිය අත්අඩංගුවට ගත් බංගලිදේශ කාන්තාව සන්තකයේ තිබී සොයා ගත් කුඩු කිලෝ 32 ද මෙම ස්ථානයෙන් රැගෙන ගිය ඒවා බව තහවුරු විය. මෙවැනිම කේක් පෙට්ටි සමඟ අත්අඩංගුවට ගැනීමෙන් එය සනාථ විය.

අවසානයේ සැකකරුවනුත් හෙරොයින් සහ කොකේන් තොගයත් අත්අඩංගුවට ගත්තේය. පසුව මේ ගැන විමර්ශනය කිරීමේදී හෙළිවුණේ මේ කතාව පිටුපස මහා මොළකාරියක් සිටින බවය. ඇය  බංගලිදේශ කාන්තාවක් වූවාය. ඈ කිහිප වතාවක් ලංකාවට පැමිණ ගියත් ඇය මේ වනවිට ලංකාවේ තබා බංගලිදේශයේවත් නොමැති බව දැනගන්නට ඇත. ඒ නිසා දැන් ඇයව සොයා ගැනීමට ඉදිරියේදි ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කිරීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් හදිසියේ මේ මත් ද්‍රව්‍ය ජාවාරම බංගලිදේශ ජාතිකයන් අතට යාම පිළිබඳ ඇත්තේ සැකයකි. එහෙත් සත්‍ය නම් මෙය බංගලිදේශ ජාතිකයන් අතරට යාමක් නොවීමය. මේ පිටුපස තවම සිටින්නේ පුරුදු පාකිස්ථානයමය. එහෙත් ලංකාව තුළ දැන් ඔවුන්ට නීතිමය වශයෙන් ගැටලුය. වීසා ලබා දීමේදී ප්‍රශ්නය. මේ නිසා ඔවුහු පසුගිය කාලයේ මෙම ජාවාරම සඳහා මාලදිවයින් ජාතිකයන් යොදාගත්හ. දැන් බංගලිදේශ ජාතිකයන්ය. ඉදිරියේදී තවත් අය එන්නට පුළුවන. එහෙත් පාකිස්ථානුවන් ගෑවෙන්නේ නැත.

කෙසේ වෙතත් දැනට තොරතුරු ලැබී ඇත්තේ මෙම හෙරොයින් මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට ගෙන්වා ඇති බවය. ඒවා අද ඊයේ නොව කිහිප විටක් මුහුදු මාර්ගය ඔස්සේ පැමිණ ඇති බව තහවුරු වී ඇත. එසේම මෙම ජාවාරම පසුපස මොවුන් දෙදෙනා පමණක් නොව තවත් පිරිසක් ද සිටිති. ඔවුන් මේ වනවිට අතුරුදන්ය. එහෙත් ඔවුන් තවමත් සිටින්නේ ලංකාව තුළ බව පොලීසිය සැක කරයි. ඒ නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත් කර ඇත.

අවසාන වශයෙන් කීමට ඇත්තේ එක දෙයකි. කාලයක් මෙරට ඇතැම් දේශපාලනඥයන් මැදිහත්ව හෙරොයින් ජාවාරම සිදු කරනු ලැබීය. දැන් විදේශිකයන්ය. හෙට අනිද්දාට හෙරොයින් පාන් පිටි තරම් මේ රටේ සුලබ වීමට ද ඉඩ තිබේ. ඒ නිසා මේ ජාවාරම මැඩ පවත්වන්නට තව තවත් මෙහෙයුම් උපක්‍රම පොලීසිය සතුවිය යුතුය. ඒ සඳහා ඇති තරම් දක්ෂ පොලිස් නිලධාරීහු රටේ සිටිති. එසේ සිටියත් ඔවුන් නිසි කලට කිසිවකු ඇගයීම් කළේ නැත. ලැබීමට තිබෙන නිලයත් කල් දැම්මේය. දැන් පොලීසිය තියෙන්නේ ජනපති සන්තකයේය. ඒ නිසා දැන්වත් මේ වැටලීම් සිදු කරමින් නිර්භීත රාජකාරියක් ඉටු කරන නිලධාරීන්ට නිසි අගැයීමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරමු.

 ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00