2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

කටුගස්තොට පාලම අද්දර හෝටලේ Elephant Bath

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 139

කලකට ඉහතදී මහනුවර නගරයේ දක්නට ලැබුණු අතිශය සුන්දර සංචාරක ආකර්ෂණයක් ලෙස කටුගස්තොට පාලම අසල මහවැලි ගඟේ අලි ස්නානය කරන දර්ශනය හඳුන්වන්න පුළුවන්. එය අද වෙනකොට පැරණි මතකයක් විතරයි. ඒ අතීතයට අප යා කළ හැකි අදට ඉතිරිව තිබෙන එකම පුරුක වන්නේ කටුගස්තොට පාලම අසල පිහිටා තිබෙන Elephant Bath හෝටලය පමණයි. ශ්‍රීමත් කුඩා රත්වත්තේ මාවතේ පිහිටා තිබෙන මේ හෝටලය විවෘත වුණේ පහුගිය නොවැම්බර් මාසයේදීයි.

හරිම සරල සුන්දර පෙනුමක් තියෙන මේ හෝටලයේ සුවපහසු කාමර 17ක් දකින්න පුළුවන්. නගරයේ තිබෙන කලබලකාරී බවින්, වාහන ශබ්දවලින් මිදුණු පරිසරයක් හෝටලය ඇතුළත තිබෙනවා. සියලු කාමර පිටතින් ශබ්ද පැමිණීම වළක්වමින් ඉදිකර තිබීමත් ඊට හේතුවක්. ඒ විතරක් නෙමෙයි, හන්තාන, නකල්ස්, හුන්නස්ගිරිය වගේ කඳු පන්ති රැසකුත් සුන්දර මහවැලියත් මේ හෝටලයට දකින්න ලැබෙනවා.

වයිෆයි පහසුකම්, ඩීවීඩී, තේ සහ කෝපි සෑදීමේ පහසුකම්, අති නවීන යාබද නාන කාමර ආදී පහසුකම්වලින් කාමර සමන්විතයි. ඒ වගේම විවිධත්වයක් එකතු කිරීම සඳහා තේමා සහිත විනෝද රාත්‍රී සාද සංවිධානය කිරීමටත් හෝටල් කාර්ය මණ්ඩලය කටයුතු කරනවා. 

හෝටලයේ ආහාරපාන ගැන කතාකිරීමේදී මුල්තැනක් හිමිවෙන්නේ දේශීය ආහාරපානවලටයි. කොහොම නමුත් ඉංග්‍රීසි, ජපන් සහ ඉතාලි ආහාරවලටත් ප්‍රධාන සූපවේදී සිසිර හෙට්ටිආරච්චි සූදානම්!

මෙතැන සිට ගඩලාදෙණිය, ලංකාතිලකය, ඇම්බැක්කේ, පේරාදෙණිය මල්වත්ත, නකල්ස්, වික්ටෝරියා ගොල්ෆ් උද්‍යානය, වික්ටෝරියා වේල්ල ආදී බොහෝ තැන්වලට ළඟාවෙන්න පුළුවන්. ලංකා තේ කෞතුකාගාරය තිබෙන්නේත් හෝටලයේ සිට මිනිත්තු තිහක දුරින්. ඒ වගේම උඩවත්ත කැලේ කුරුල්ලන් නැරඹීමට යාමටත් ඇවිදීමටත් අවස්ථාව තිබෙනවා. 

 - සනත් වීරසූරිය 
- සේයාරූ - ශාන් බන්දු වීරසිංහ