2016 දෙසැම්බර් 10 වන සෙනසුරාදා

පානබොක්කේ මහගෙදර දැන් Athulya Villas

 2016 දෙසැම්බර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 230

 

කඩුගන්නාව හා පිළිමතලාව කියන්නේ අපේ රටේ ජනතාවගේ අවධානය ඒ තරම් යොමු නොවුණු නමුත් කඩුගන්නාව දුර්ග මාර්ගය, පිළිමතලාව පිත්තල කර්මාන්තය, ගඩලාදෙණිය, ඇම්බැක්කේ වැනි පැරැණි සිද්ධස්ථාන ආදිය පිහිටා තිබෙන ප්‍රදේශයක්. ඒ වගේම මේ වෙද්දි වනජීවි සෞන්දර්යයත් ත්‍රාසජනක සංචාරක අත්දැකීම් ආදියත් වෙනුවෙන් සංචාරය කරන්නන් අතර නම් මේ ප්‍රදේශය ජනප්‍රිය වෙමින් තිබෙනවා.

ඉතින් මේ වගේ සංචාරක ආකර්ෂණය ඇතිවෙමින් තිබෙන ප්‍රදේශයක පිහිටලා තිබෙන බොහොම අපූරු හා පෞරාණික වටිනාකම් රාශියක් කැටි කරගත් හෝටලයක් තමයි, Athulya Villas කියන්නෙ. මෙය පිළිමතලාව හන්දියේ සිට කිලෝමීටර හයක් දුරින් පානබොක්කේ ගමේ පිහිටා තිබෙනවා. අද වන විට හෝටලයක් බවට පරිවර්තනය කර තිබුණත් මෙතැන තමයි ප්‍රසිද්ධ පානබොක්කේ පවුලේ මුල් ගෙදර. 1885 වසරේදී ඉදිකරපු මේ ගොඩනැගිල්ල 2014දී නැවත පිළිසකර කර තිබෙන්නේ කුඩා හෝටලයක් බවට පෙරළමිනුයි. මුහුදු මට්ටමින් අඩි 1500ක් තරම් උසින් පිහිටා ඇති අක්කර හතරක පමණ තේ වත්තක තමයි මේ වලව් පන්නයේ හෝටලය නිර්මාණය වෙලා තියෙන්නෙ. 

මුල් ගොඩනැගිල්ල අද වනවිට භාවිතයට ගැනෙන්නේ හෝටලයේ ප්‍රධාන අවන්හල විදිහටයි. නවාතැන් ගැනීමට ඇත්තේ ප්‍රධාන ගොඩනැගිල්ල වටා පිහිටා ඇති කොටේජ් පහකයි. ‍මේවා අති නවීන පහසුකම් යටතේ ඉදි කර තිබෙන්නේ, ජැකූසි නාන තටාක පවා සහිතව යි. 

කෑමබීම ගැන අවධානය යොමුකරද්දී වැඩි තැනක් ලබාදීලා තියෙන්නේ දේශීය ආහාර පාන සඳහායි. ඊට හේතු වන්නේ, මෙය හෝටලයක් වුවත් ඒ හරහා තමන් ගෙදර හිඳිනවා වැනි සමීප බවක් ලාංකික නවාතැන්ගන්නන්ට ලැබීමට සැලැස්වීමයි. සරල ගමේ කෑමක සිට තරු පන්තියේ හෝටලය කෑම වර්ග පවා මෙහිදී ඔබේ රුචිකත්වය අනුව ලබාගන්න පුළුවන්. 

♦  සනත් වීරසූරිය
සේයා රූ - නීල් සිරිවීර