2019 ජනවාරි 05 වන සෙනසුරාදා

ට්‍රම්ප් අහසින් පොළොවට!

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 268

තමන් ලෝකෙට ලොක්කා යැයි පම්පෝරි ගසන අමෙරිකාවේ හිතුවක්කාර නායකයා හට බ්‍රහස්පතින්දා ප්‍රසිද්ධියේ අතුල් පහරක් එල්ල විය. අමෙරිකානු පාර්ලිමේන්තුව හෙවත් කොංග්‍රසය තුළදීය. ජනාධිපති ට්‍රම්ප්ගේ විරුද්ධ පක්ෂය වන ඩෙමොක්‍රැටික් පක්ෂයේ ප්‍රබල විප්ලවකාරී සටන්කාරියක වන නැන්සි පෙලොසි හට කොංග්‍රසයේ නායකත්වය හෙවත් කතානායක පුටුව හිමිවීමත් සමඟිනි.

116 වැනි අමෙරිකානු කොංග්‍රසය බ්‍රහස්පතින්දා මුළුදුන් අවස්ථාවේදී නැන්සි පෙලොසි රැස්ව සිටි කොංග්‍රස් නියෝජිතයන් 430න් 220කගේ කැමැත්ත දිනාගනිමින් මහපුටුවේ ඉඳගත්තේ රිපබ්ලිකන් නායක කෙවින් මැකාර්ති ඡන්ද 192කට සීමා කරමිනි. මේ සංසිද්ධිය ඓතිහාසික පෙරුළියක ආරම්භයකි. මේ තනතුර ජනාධිපතිවරයාගේ අන්තනෝමතික තීන්දු තීරණ සඳහා දැඩි බලපෑම් කළ හැකි රජයට හෙල්ලිය හැකි තීරණ ගත හැකි බලවත් තනතුරකි. රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති ට්‍රම්ප් තමන්ට ඕනෑ හැටියට පාලනය කර ගැනීමට හැකි බලයක් ඩෙමොක්‍රැටික් නියෝජිත පිරිසට ලැබුණු අවස්ථාවකි.

පසුගියදා පැවති අන්තර්වාර මැතිවරණයේදී කොංග්‍රසයේ බලය උඩු යටිකුරු වූයේ ජනාධිපති ට්‍රම්ප්ගේ හිතුවක්කාර තීන්දු තීරණ සීමාකිරීමේ තීරක බලය විපක්ෂය වන ඩෙමොක්‍රැටික්වරුන් වෙත ලබාදෙමිනි. එහි ප්‍රතිඵල බ්‍රහස්පතින්දා වනවිට දින 13ක් පුරා රටට දැනෙමින් තිබුණේ ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මුදල් පනත් කොංග්‍රසය මගින් අනුමත නොවීමෙන් හටගත් රජයේ බිඳවැටීම හේතුවෙනි. මේ නිසා 80000කගේ රැකියා අවදානමකට පත්ව තිබුණි. ආණ්ඩුව අඩපණ වීමට හේතු වූ ඩෙමොක්‍රැට්වරුන්ගේ අතපෙවීමට මුල්වූයේ ජනාධිපති ට්‍රම්ප්ය. ඔහුගේ අන්තනෝමතික පොරොන්දුවක් ඉටුකිරීමට යාමය. මෙක්සිකෝව දෙසින් එන සංක්‍රමණිකයන් වළක්වාලීම සඳහා සැතපුම් 200ක් දිග තාප්පයක් ඉදිකිරීමට ඩොලර් බිලියන 5.6ක ප්‍රතිපාදන ඔහු ඉල්ලා තිබුණි. මෙය ඔහුගේ ඡන්ද ගුංඩුවකි. ඩෙමොක්‍රැට්වරු මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ඉල්ලීමට එරෙහි වූහ. 2019-20 කාලය සඳහා මුදල් සම්මතයට බාධා කළහ. ආණ්ඩුවේ වැඩ ඇණහිටියේය. නැන්සි පෙලොසි, පොලිසි හෙවත් ප්‍රතිපත්ති පිළිබඳ තදබල තීන්දු ගැනීමේ මහ පුටුවට එන්නේ එවන් පසුබිමකය. 

නැන්සි පෙලොසි හට කතානායකගේ තීරක මිටිය අලුත් ආගන්තුක උපකරණයක් නොවේ. ඒ ඇය මෙයට පෙර 2007-2011 කාලයේද මේ තනතුර දරා ඇති නිසාය. ඒ අනුව බ්‍රහස්පතින්දා නව පත්වීමත් සමඟ අමෙරිකා ඉතිහාසයේ දෙවරක් කතානායක පදවිය ලද කාන්තාවන් අතර දෙවැන්නිය ලෙස නැන්සිගේ නම සටහන් වේ. මුල් තැනැත්තිය 1955 නැවත තේරී පත්වූ සෑම් රේබර්න්ය. ඒ අනුව නැන්සිගේ ජයග්‍රාහී පත්වීම වසර 63කට පසු සිදුවූ ඓතිහාසික වෙනසකි. එසේම කාන්තාවන්ට ඡන්ද අයිතිය ලැබී වසර 100ක් සැපිරෙන මොහොතක මෙය සිදුව තිබේ. එසේම කොංග්‍රසයේ වැඩිම කාන්තා නියෝජනයක් හෙවත් 102ක බළඇණියක් එකතුව සිටින මොහොතකය.

නැන්සි වැඩ බාරගත් සැණින්ම වාගේ මාධ්‍ය හමුවක් කැඳවූ ට්‍රම්ප් ඇයට සුබ පතන අතර මැක්සිකානු තාප්පයේ වැදගත්කම ගැනද අවධාරණය කෙළ්ය. ඔහු එය හඳුන්වන්නේ දේශසීමා ආරක්ෂාව හැටියටය. තාප්පයට එරෙහිවීම අමෙරිකාවේ ආරක්ෂාවට එරෙහිවීමක් ලෙස ඔහු අර්ථකථනය කරයි. නැන්සි මාධ්‍ය සාකච්ඡාවකදී කීවේ මේ ගැටලුව දෙස දේශපාලනිකව නොබැලිය යුතු බවකි. ජනාධිපතිට එරෙහි විශ්වාසභංගයක් ගෙනෙනවාද යන්නට ඈ පිළිතුරු දුන්නෙ එය මේ මොහොතේ අත්‍යවශ්‍යම කාරණාව නොවන බව කියමිනි. ඉක්මනින් ආණ්ඩුව පණගැන්වීමට අවශ්‍ය ප්‍රතිපාදන මුදාහරින්නට කටයුතු කරන බව ඈ කියා තිබේ. නමුත් තාප්පය තනන්නට අවශ්‍ය මුදල් නම් ඩෙමොක්‍රැට්වරු සිටින තුරු නොලැබෙන හැඩය.