2019 ජනවාරි 05 වන සෙනසුරාදා

ගුවන් අනතුරු වැඩිම අවුරුද්ද 2018

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 145

ආරක්ෂිතම මගී ප්‍රවාහන ක්‍රමය යැයි පිළිගැනීමක් තිබුණනද 2017 වසරට සාපේක්ෂව ඉකුත් වසරේ ගුවන් යානා කඩා වැටීම්වලින් ලොව පුරා මියගිය පුද්ගලයන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ලෝක ගුවන් ආරක්ෂණ ජාලය නිකුත් කළ  නවතම වාර්තාවක් පෙන්වා දෙයි. 

2017 වසරේදී ලොව ගුවන් අනතුරුවලින් මියගිය පිරිස 44ක් ලෙස සටහන් වූ නමුත් 2018 වසරේදී එය 556ක් දක්වා ඉහළ ගොස් ඇති බව එය කියයි. ඒ අනුව ඉකුත් වසරේ සිදුවූ දරුණුතම ගුවන් අනතුර ලෙස ඉකුත් ඔක්තෝබර් මාසයේ ඉන්දුනීසියාවේ ලයන් ගුවන් සේවයට අයත් යානයක් කඩාවැටීමෙන් පුද්ගලයන් 189 දෙනකු ජීවිතක්ෂයට පත්වීම සැලකේ. 2018 වසරේදී සිදුවූ මාරක ගුවන් අනතුරු සංඛ්‍යාව 15කි. 2017 වසර සැලකෙන්නේ වාණිජ ගුවන් යානා ඉතිහාසයේ ආරක්ෂිතම වසර ලෙසයි. එම වසරේදී කිසිදු මගී ගුවන් යානයක් කඩා නොවැටීම ඊට හේතු විය.

කෙසේ වෙතත් ඉකුත් දශක දෙකක කාලය තුළ ගුවන් යානා ආරක්ෂාව සම්බන්ධයෙන් යම්  ප්‍රගතියක් පෙන්නුම් කර ඇතැයි ද නෙදර්ලන්තයේ පිහිටා ඇති ගුවන් ගමන් ආරක්ෂණ ජාලය (ASN) පවසයි.

ගුවන් ගමන් අනතුරු වසර දහයකට පෙර තත්ත්වයේම තිබුණා නම් පසුගිය වසර තුළ දරැණු ගුවන් ගමන් අනතුරු තිස් හයක් වෙන්න තිබුණා යැයි ඒ.එස්.එන් ප්‍රධාන විධායක නිලධාරි හරෝ රුන්ටර් පැවසීය. ගුවන් ගමන් පථයෙන් ඉවත්වීම, යාන්ත්‍රික දෝෂ, අත්වැරදීම් හෝ පරිසරයේ වෙනස්කම් හේතුවෙන් මාරක ගුවන් අනතුරු සිදුවිය හැකි බව ඒ.එස්.එන් කියයි.