2019 ජනවාරි 05 වන සෙනසුරාදා

මාධ්‍යවේදී කෂෝගී ඝාතකයන්ට මරණය!

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 120

මාධ්‍යවේදී ජමාල් කෂෝගීගේ ඝාතනයට සම්බන්ධ සවුදි අරාබි ජාතිකයන් 05 දෙනාට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සවුදි අරාබි රජය බලාපොරොත්තු වන බව  වාර්තා වේ. මෙලෙස මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුව සිටින පුද්ගලයන් 05 දෙනා එරට ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් ගේ සමීපතමයන් බව  විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.

වොෂිංටන් පෝස්ට් පුවත්පතේ තීරු ලිපි රචකයෙක් වන මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඉකුත් වසරේ අග තුර්කියේ පිහිටි සවුදි කොන්සියුලර් කාර්යාලයේදී අභිරහස් ලෙස ඝාතනයට ලක්විය. ඔහුගේ ඝාතනය පිළිබඳ සවුදි රජය පළමුව ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර පසුව සිය කොන්සියුලර් කාර්යාලයේදී ජමාල් කෂෝගී මියගිය බවට පිළිගත්තේය. නමුත්  ඔහුගේ සිරුරට සිදුවුයේ කුමක්ද යන්න ගැන මේ දක්වා හෙළි කර නැත.

පසුගියදා පැවති නඩුව සඳහා විත්තිකරුවන් 11 දෙනෙක් සහභාගී වූ අතර ඔවුන්ගේ අනන්‍යතාවය හෙළිකිරීමටද සවුදි රජය පියවර ගෙන තිබුණේ නැත. එමෙන්ම ඉකුත් වසරේ  ඔක්තෝබර් මස 02 වැනිදා සිදුවූ ජමාල් කෂෝගී ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 18 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව මීට පෙර සවුදි අරාබිය දැනුම් දී තිබුණි. පැවති නඩු විභාගය සම්බන්ධයෙන් සවුදි රාජ්‍ය මාධ්‍ය යම් කරුණු කිහිපයක් හෙළි කරනු ලැබූ අතර රජයේ නීතිඥයා සිය අදහස් දක්වමින් කියා ඇත්තේ "ජමාල් කෂෝගී" ගේ ඝාතනයට සෘජුව සම්බන්ධ බවට සාක්ෂි ඇති චූදිතයන් 05 දෙනාට උපරිම දඬුවම් හිමිවිය යුතු බවය. ඒ හේතුවෙන් ඔවුන්ට මරණ දඬුවම නියම කළ යුතු බවට ද කරුණු දක්වා ඇත. 

මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් තම සේවාදායකයන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා පිටපත් අධිකරණය මගින් ලැබී නැති බැවින් ඒවා තමන්ට ලබා දෙන ලෙසත් කරුණු දැක්වීම සඳහා කාලය අවශ්‍ය බව දන්වා ඇත.

මේ අතර ජමාල් කෂෝගී ගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 18 දෙනා තම රටට පිටුවහල් කරන ලෙසත් ඔවුන්ට එරෙහිව තුර්කියේදී නීතිමය කටයුතු කිරීමට අවශ්‍ය බව තුර්කි බලධාරීන් සවුදි රජයට අවස්ථා ගණනාවකදී දැනුම් දී ඇති අතර මේ දක්වා ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත.

 

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30