2019 ජනවාරි 05 වන සෙනසුරාදා

මිනිසා මුල්වරට සඳ අඳුරු පැත්ත සමීපව දකියි!

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 53

ඉකුත් බ්‍රහස්පතින්දා මහ පොළොවේ මිනිස්සු සඳ තලයේ සදාතනික අඳුරු පැත්තෙ සමීප ඡායාරූපයක් මුල්වරට දුටුවෝය. චීනය කක්ෂගත කළ චැන්ග් ඊ 4 නමැති රොබෝ රෝවර් යානය සාර්ථකව සඳ මතට ගොඩබැස්සවීමත් සමඟිනි.

මීට පෙර සඳ තරණයේදී ළඟා නොවුණු ප්‍රදේශයක් වන සදාතනික අඳුරු පැත්තෙ ඇති සඳ තලයේ ඉපැරණිතම සහ විශාලතම Aitken Basin ආවාටය වෙත මෙම යානය ගොඩබස්වන ලදී. බේජින් වේලාවෙන් 10:26ට එය ගොඩ බැසීමෙන් පසු පැය හයක කාලයකදී මුල්ම ඡායාරූප පොළෝතලය වෙත ලබාදෙන ලදී. මීට පෙර මිනිසා කක්ෂගත කළ සියලු අභ්‍යවකාශ යානා සඳ මතට ගොඩබස්වා තිබුණේ පෘථිවියට පෙනෙන ප්‍රදේශයකිනි. සඳ තමන් වටා කැරකීමටත් පොළොව වටා යාමටත් එකම කාලයක් වැය කිරීම නිසා එහි මෙම පැත්ත ඇත්තෙ මහ පොළොවෙන් සදහටම ඈත්වය. මේ නිසා එය අඳුරු පැත්ත ලෙස හැඳින්වෙයි. චීන සඳ තරණ වැඩපිළිවෙළේ ප්‍රධානී  වුවෙරෙන් අභ්‍යවකාශය ජයගත් බලවත් ජාතියක් බවට පත්වීම සඳහා චීනය අරඹා ඇති දිගු ගමනේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙම අවස්ථාව හඳුන්වාදෙයි. සඳ වෙත ළඟාවීමට හෝ එහි ගොඩබෑමට විවිධ රටවල් උත්සාහයන් රැසක් දරන ලද අතර අවසාන වරට මිනිසුන් සහිත යානයක් සඳ මත ගොඩබසින ලද්දේ 1972 දීය. ඒ ඇපොලෝ 17 යානයයි. 

Chang’e-4 යානය මගින් පෘථිවියට එවන ලද පින්තූර සහ දර්ශන මේ වන විටත් චීන රාජ්‍ය මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කර තිබේ. මෙම යානයට පාලක මධ්‍යස්ථානය සමඟ සන්නිවේදන සම්බන්ධතා නොමැති අතර එමගින් එක්රැස් කරගන්නා දත්ත සහ පින්තූර නැවත එවනු ලබන්නේ වෙනත් චන්ද්‍රිකාවක ආධාරයෙනි.

එසේම මෙම යානය මගින් ප්‍රධාන වශයෙන් සඳෙහි වොන් කාර්මන් නම් පැල්ම සහිත ප්‍රදේශය ගවේෂණය කිරීමට නියමිතය. සඳ මතුපිට විසිරී ඇති ශෛලමය කැබලි සහ දුහුවිලි මගින් චන්ද්‍රයා නිර්මාණය වූ ආකාරය පිළිබඳ යම් තොරතුරක් උකහා ගැනීමට මෙම යානයට හැකියාව ලැබේ යැයි  විශ්වාසය පළ කරති.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00