2019 ජනවාරි 05 වන සෙනසුරාදා

ෂෙයික් හසීනා තෙවන වරටත් බලය අල්ලයි!

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 17

මිලියන 160ක ජනගහණයකින් යුත් මුස්ලිම් බහුතරයක් සහිත බංග්ලාදේශවාසීන් තෙවැනි වරටත් අගමැතිනි ෂෙයික් හසීනා බලයට පත්කර ගත්තේය. 2009 වසරේ පටන් බංග්ලාදේශය පාලනය කරනු ලැබුවේ ෂෙයික් හසීනාගේ නායකත්වයෙන් යුත් අවාමි ලීගය විසිනි. ඇය නියෝජනය කරන අවාමි ලීග් පාලක පක්ෂය පෙර මැතිවරණවලට වඩා වැඩි ආසන ගණනක් මෙවර හිමිකරගත් අතර, පාර්ලිමේන්තු ආසන තුන්සියයෙන් 288ක් ජයග්‍රහණය කර ඇත.
දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඡන්ද නීති කඩකරමින් සිදු වූ මෙම මැතිවරණය (විහිළුවක්) බව විරුද්ධ පක්ෂය පවසයි.
මැතිවරණය නැවත පවත්වන්නයි ඉල්ලා සිටින විරුද්ධ පක්ෂයට හිමිව ඇත්තෙ පාර්ලිමේන්තු ආසන හතක් පමණි. බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ මුළු ආසන ගණන 350ක් වන අතර, එයින් පනහක් කාන්තාවන් වෙනුවෙන් වෙන්කර තිබේ.

මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුවන කාලය තුළ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂ සාමාජිකයන් අතර සිදුවූ ගැටුම්වලින් 17 දෙනකු පමණ මියගොස් ඇති බව වාර්තා විය. අවාමි ලීගය තරග වැදුණු ආසන 300 අතරින් ආසන 221කම (අක්‍රමිකතා) සිදුවී ඇති බවට බංග්ලාදේශ් ජාතික පක්ෂයේ (BNP) ප්‍රකාශකයෙක් චෝදනා කළේය.

ෂෙක් හසීනාගේ දීර්ඝ කාලීන විරුද්ධවාදිනිය වූ ඛලිඩා සියා මේ වසර මුලදී සිරගත කරනු ලැබුවේ දූෂණ චෝදනා මතය. ඛලිඩා සියා පවසන්නේ එම චෝදනා දේශපාලනික අරමුණු තකා ගොනුකර ඇති බවය. ඇය සිරගතව සිටින අතරතුර විපක්ෂ කණ්ඩායම් ඒකරාශී කොට ඊට නායකත්වය ලබාදෙනු ලැබුවේ ඇයට පක්ෂපාතී නීතිඥ කමාල් හොසේන් විසිනි. අවාමි ලීගයේ හිටපු ඇමතිවරයකු වන ඔහු ෂෙක් හසීනාගේ හිටපු ආධාරකරුවෙකි. (ජාතියෝ ඔයික්යෝ) පෙරමුණ නමින් හැඳින්වෙන මෙම විපක්ෂ සන්ධානයට ඛලිඩා සියාගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ ජාතික පක්ෂය ද ඇතුළත්ය. කෙසේ නමුත් බංග්ලාදේශයේ ව්‍යවස්ථාව සකස් කළ නීතිඥවරයා ද වන කමාල් හොසේන් මෙවර මැතිවරණයට තරග වැදුනේ නැත. ඔහු මේ වනවිට 81 වැනි වියේ පසුවෙයි. 2014 වසරේ පැවති මහ මැතිවරණය බංග්ලාදේශ ජාතික පක්ෂය විසින් වර්ජනය කරන ලදී. දස වසරකට පසු, සියලුම ප්‍රධාන පක්ෂ තරග වැදුණු මහ මැතිවරණය බවට පත්වූයේ ඉරිදා පැවති මහ මැතිවරණයයි.

දේශගුණික විපර්යාස නිසා නිබඳව ඇතිවන අනතුරුවලට මෙන්ම ඉස්ලාමීය සටන්කාමීත්වය, දරිද්‍රතාව සහ දූෂණය වැනි බරපතළ ප්‍රශ්නවලට මුහුණදෙමින් සිටින බංග්ලාදේශය මියන්මාරයේ සිට ලක්ෂ ගණනක් වූ රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව මෙරටට පලායාමත් සමඟ මෑතදී ජාත්‍යන්තර අවධානයට තදින්ම යොමු විය. 

 

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30