2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

ට්‍රම්ප් නැවතත් දෙබරයට ගල් ගසයි

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 127

සිරියාවේ රඳවා ඇති 2000ක් පමණ වන සියලු හමුදා ඉවත්කර ගන්නා බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ ප්‍රකාශය පෙන්ටගනයේද කැපිටල් හිල්හි ප්‍රමුඛ ඩිමොක්‍රටික් හා රිපබ්ලිකානුවන්ගේ මෙන්ම වොෂින්ටනයේ නේටෝ සහචරයන්ගේද තැතිගැන්මට හා තියුණු විරුද්ධත්වයට දැන් තුඩුදී ඇත. එය හැඳින්විය හැක්කේ දෙබරයකට ගල් ගැසීමක් ලෙසටය.

ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා මිලිටරිය විසින් මාධ්‍යය වෙත කාන්දු කරන ලද එම ට්‍රම්ප්ගේ ප්‍රකාශය පසුව ඔහුම ලිවූ කෙටි ට්විටර් පණිවිඩයකින්ද සනාථකර තිබේ. නත්තල් දින රාත්‍රියේ අමෙරිකානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිය මෙලානියා ට්‍රම්ප්, දැනුම්දීමකින් තොරව ඉරාකයේ සිටින අමෙරිකානු සෙබළුන් හමුවීමට ගියහ. ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සංචාරයේ නිරත වූයේ IS ත්‍රස්තවාදීන් පරාජය කිරීමට ඉරාකයේ සිටින අමෙරිකානු සෙබළුන් කළ සේවයට ඔවුන්ගේ සාර්ථකත්වය සහ කැප කිරීම්වලට ස්තූති කිරීමේ අරමුණින් බව මාධ්‍ය වාර්තා කළේය. මෙය අමෙරිකානු ජනාධිපතිවරයා ඉරාකයේ සංචාරයක නිරත වූ පළමු අවස්ථාව වන අතර ඔහු එහි පිහිටි අමෙරිකානු හමුදා කඳවුරේ පැය 3ක කාලයක් සිටි බව සඳහන්ය. ට්‍රම්ප් එතැනදි හමුදා ඉවත්කර ගැනීම පිළිබඳ සෙබළුන්ට ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කළේය. 

ඉන්පසුව ධවල මන්දිර ප්‍රකාශිකා සාරා සෑන්ඩර්ස් එදිනම සවස එයට පක්ෂව ප්‍රකාශයක් නිකුත් කළාය. ඇය පැවසුවේ “අපි එක්සත් ජනපද හමුදා ආපසු ගැනීමට පටන්ගෙන තියෙනවා. නමුත් එක්සත් ජනපදය හා අපගේ මිතුරන් අවශ්‍ය ඕනෑම වෙලාවක යළි මැදිහත්වීමට සූදානමින් සිටිනවා” යනුවෙනි. එම ධවල මන්ඳිර නිවේදනයෙන් පසුව පෙන්ටගනයෙන්ද තවත් නිවේදනයක් නිකුත් විය. එහිදි  පෙන්ටගනයේ ප්‍රකාශිකා ඩානා වයිට් ඇමරිකානු ජනාධිපතිගේ ප්‍රකාශය එකහෙලා ප්‍රතික්ෂේප කර තිබුණි.

සිරියාවේ නීති විරෝධී ඇමරිකානු වාඩිලෑම ආරම්භ වුණේ 2015 ඔබාමාගේ ආණ්ඩුව යටතේය. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ හෝ සිරියානු ආණ්ඩුවේ අවසරයක් ලැබී නොතිබුණි. එය ඉරාකය හා දකුණෙන් ජෝර්දාන දේශසීමාව අසල විශේෂ කාර්ය සාධක හමුදා රැඳවීමද ඊසානදිග සිරියාවේ 2000ක ඇමරිකානු හමුදාවක් රැඳවීම දක්වාද ට්‍රම්ප් පාලනය යටතේ පුළුල් විය.

2016 ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී ට්‍රම්ප්, සිරියාවෙන් ඇමරිකානු හමුදා ඉවත්කර ගන්නා බවට දිව්රුම් දුන්නද පෙන්ටගනය, ඔත්තු ආයතන හා අනෙක් ජාතික ආරක්ෂක නිලධාරීහු එම පොරොන්දුව අනුව කටයුතු කිරීමෙන් ට්‍රම්ප් වළක්වා ගත්හ. ට්‍රම්ප් නැවත අවුස්සා ගත්තේ දබරයකට හේතුවන ඒ දෙබරයයි.