2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

පාප් වහන්සේට 82යි!

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 32

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ 82 වන ජන්ම දිනය පසුගිය 17  දිනට යෙදී තිබුණි. එතුමෝ  සිය 82 වැනි ජන්ම දිනය සැමරුවේ රෝගී දරුවන් පිරිසක් සමගිනි. පුණ්‍ය ආයතනයක් විසින් මෙහෙයවනු ලබන රෝහලක වෛද්‍යවරුන් හෙදියන් සහ ප්‍රතිකාර ලබන ළමයින් 400ක් පමණ එම අවස්ථාවට එක්ව සිටියහ. එම ළමයින්ගෙන් වැඩි පිරිස සංක්‍රමණික පවුල්වල සාමාජිකයෝය.

වත්මන් පාප්වහන්සේ හෙවත් පළමුවන ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා වර්තමාන ශුද්ධවූ සභාවේ නායකයාණන් වන අතර රෝමයේ අගරදගුරුතුමාණන්ද වේ. මෙතුමාණන් වතිකානයේ රාජ්‍ය නායකයාය. ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස්හීදි උපත ලද මෙතුමාගේ පෞද්ගලික නාමය වූයේ ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝය. එතුමා දෙව්සත්හලට ඇතුළත් වීමට පෙර කෙටි කලක් රසායනාගාරයක තාක්ෂණික ශිල්පියකු වශයෙන්ද, රාත්‍රී සමාජශාලාවක ආරක්ෂක නිලධාරියකු වශයෙන්ද කටයුතු කර තිබේ. මෙතුමාණන් 1969දී ජේසු නිකායික පියතුමකු වශයෙන් පූජකවරය ලබාගත් අතර 1973 සිට 1979 දක්වා ආජන්ටිනාවේ ප්‍රාදේශීය නායකයාණන් ලෙස කටයුතු කර තිබේ. 1998 වසරේදී බුවනොස් අයර්ස් හි අගරදගුරුතුමන් ලෙස මෙතුමා පත්කරන ලද අතර 2001 වසරේ දී දෙවන ජුවාම් පාවුළු පාප්තුමන් අතින් කාදිනල් ධුරයට ඔසවන ලදී. 2013 පෙබරවාරි 28 දින 16 වන බෙනඩික් ශුද්ධෝත්තම පියතුමා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ හිස් වූ පාප් තනතුර සඳහා එතුමන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස බර්ගොග්ලියෝ කාදිනල් තුමාව තෝරා ගන්නා ලදී. එතැන් සිට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලෙස හඳුන්වන්නට යෙදිණි.

සාමාන්‍ය ජිවිතයේදී ෆ්‍රැන්සිස් පාප්තුමන් නිහතමානි, සරල, අල්පේච්ඡ ජිවිතයක් ගතකරන පුද්ගලයකු ලෙස ප්‍රසිද්ධියක් උසුලති. එපමණක් නොව දුප්පතුන්ට නිතරම දයාවන්ත එතුමා දෙව්පියාණන්ගේ අසීමිත දයාව පිළිබඳ ජිවමාන සාක්ෂියක් බඳුය. ශුද්ධ වූ සභාව වඩාත් විවෘත හා කාලානුරූපී විය යුතුයි යන්න එතුමන්ගේ මතයයි. එතුමන් බෝහෝ රැඩිකල් මත දරන්නෙකු ලෙසද ප්‍රසිද්ධය.  

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30