2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

පණුගොඩට වැටුණු ට්‍රම්ප්!

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 147

බලයට පැමිණෙන්නට පෙර සිටම ලෝකයට රස පුවත් සැපයූ නායකයකු ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දැක්විය හැකිය. ඔහු තදබල රාෂ්ට්‍ර පාලකයකු ලෙස පෙනී සිටින්නට තැත් කළත් සෙසු ලෝකයා වෙතින් ට්‍රම්ප් සදය උපහාසයට ලක්වන අවස්ථාද බොහෝය. මේ ට්‍රම්ප් සම්බ්න්ධව මාධ්‍ය කැළඹූ අලුත්ම අලකලංචියයි.

පැනමා රටෙන් හොයාගත් දිය, ගොඩ දෙකේම දිවි ගෙවන පණු ආකාර අලුත් ජීවියෙකුහට ට්‍රම්ප්ගේ නම තැබීම නිසා මාධ්‍ය පුරා රැව් නැගුණු කවට හසරැල්ල මේ අලුත්ම සංසිද්ධියයි. කතාව පැතිරුණේ වැල්ලේ හිස හංගාගන්නා අන්ධ පණුවෙකුට ට්‍රම්ප්ගේ නම ලබාදීමත් සමගිනි. 

අලුතෙන් සොයාගත් මේ පණුවාට පාද නැත. ජීවත් වන්නේ පැනමාවේය. සෙන්ටිමීටර 10 ක් පමණ දිගින් වැඩේ. උගේ සම දිලිසෙන සුළුය. ගැඩවිලෙකු වැනිය. නමුත් උගේ ජීවන රටාව ඊටත් වඩා සුවිශේෂීය. ඌ වැල්ලේ ජීවත් වෙමින්, කිසියම් අනතුරක් හැඟුණු විට වැල්ලේ හිස හංගා ගනියි. එවිට ආවරණය වන්නේ හිස පමණක් බවත්, අනෙක් සර්වාංගය තිබෙන්නේ එළියේ බවත් ඌ නොදනියි. පැස්බරාගේ හැංගිමුත්තම වැනිය. මෙය, ට්‍රම්ප්ගේ ආරක්ෂණවාදී අන්තවාදය සමඟ කදිමට ගැලපීමට සතාට නම තැබූ සමාගම උත්සාහ ගෙන ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම සහිතව ඩර්මොෆීස් ඩොනල්ඩ්ට්‍රම්පි (Dermophis donaldtrumpi) යනුවෙන් මේ නව සත්ව විශේෂය නම් කර තිබේ.

ලැව්ගිනි සිට ගංවතුර දක්වා සෑම ආකාරයේම දේශගුණික විපර්යාස නිසා හටගන්නා උවදුරුවලට මේ වනවිට අමෙරිකාවේ ජනතාව ලක්වෙමින් තිබේ. අමෙරිකාව පසුගිය නොවැම්බරයේ පලකළ වාර්තාවකින් කියැවුණේ මේ අවදානම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බවය. නමුත් මේ වාර්තාව ‘විශ්වාස කළ නොහැකි යැයි ට්‍රම්ප් කීවේය. එසේම අමෙරිකාව දැනටමත් කියා තිබෙන්නේ එදා මෙදාතුර ලෝකයේ පරිසරය රැක ගැනීම සඳහා ඉදිරිපත් වූ විශාලතම විශ්ව සම්මුතිය වන පැරිස් ගිවිසුමෙන් අමෙරිකාව ඉවත්කර ගන්නා බවය. එනිසා ලෝකයම පිළිගන්නා දේශගුණික විපර්යාස සම්බන්ධව කිසිවක් නොදන්නා සේ හැසිරෙන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම අන්ධ පණුවෙකුට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැළපෙන බව එම නම තෝරාගත් විද්‍යාඥයෝ එක හඬින් කියති. ඩර්මෝපීස් ඩෝනල්ඩ් ට්‍රම්පිගේ හිස මත පස් වැතිර ඇති විට දක්නට ලැබෙනා  මුහුණ හා ට්‍රම්ප්ගේ මුහුණුවර බොහෝ සෙයින් සමාන බවද අන්තර්ජාලය තුළ සංසරණය වන ඡායාරූපවලින් පෙන්වාදී තිබේ. නම තෝරාගෙන තිබෙන්නේ එන්වයෝබිල්ඩ් නමැති සමාගමක් විසිනි. ඩොලර් 25,000ක් ගෙවීමෙනි. නවතම උභය ජීවියාට නම් තැබීම සඳහා සුදුසුම නම තෝරාගැනීමට ඔවුන් විසින් වෙන්දේසියක්ද සූදානම් කර තිබිණි. එම මුදල වැසි වනාන්තර ආරක්ෂාව සඳහා යොදවන්නට බලාපොරොත්තුවේ. ට්‍රම්ප් නම මෙලෙස නව ජිවියෙකු හට යෙදූ පළමු වතාව මෙය නොවේ. පසුගිය වසරේ Neopalpa donaldtrumpi, ලෙස රෑ සමනලයෙකුද ට්‍රම්ප් අනුව සිය  නම ලබා ගත්තේය. හිටපු ජනාධිපති බැරක් ඔබාමා නමින් Aptostichus barackobamai නම් මකුළුවෙක්ද ඇතුළු ජීවීන් 14ක්ම නම් කර තිබේ. හිටපු ජනාධිපති බුෂ් Agathidium bushi ලෙස සිය නම කුරැමිණියකුට දුන්නේය. උප ජනාධිපති ඩික් චේනි ඇතුළු ප්‍රභූන් රැසකටම සිය නම ඇතුළත් ජිවී වර්ග මෙයට පෙර වෙන්කර තිබේ. නමුත් ඒ එක අවස්ථාවක් හෝ මේ තරම් ඉස්තරම් ලෙස ලෝකය වෙත කවට රසය බෙදාදුන්නේ නැත.