2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

චීන කැනඩා අවුල ඇවිලේ

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 177

දෙසැම්බර් 01 වැනිදා අමෙරිකාව විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමක් අනුව චීනයේ සුප්‍රකට හුවාවේ දුරකථන සමාගමේ ප්‍රධාන මූල්‍ය පරිපාලන නිලධාරිනිය වන මෙන්ග් වන්සුහ් අත්අඩංගුවට ගැනීමට කැනඩාව කටයුතු කිරීමත් සමඟ චීනය සහ කැනඩාව අතර රාජතාන්ත්‍රික මතභේද ඇවිල ගියේය. මෙහි නවතම ප්‍රතිඵලය වූයේ කැනේඩියානු ජාතිකයෙක් වන මයිකල් කොව්රිග් චීනය විසින් රඳවා තබා ගැනීමය.

ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රාජතාන්ත්‍රික නිලධාරියෙක් ලෙස මීට පෙර කටයුතු කර ඇති අතර මේ සිද්ධිය වනවිට ඔහු චීනයේ රැකියාවක් කරමින් සිටි බව වාර්තා වෙයි. ඔහු සේවය කරනු ලබන සමාගම මයිකල් කොව්රිග් චීන බලධාරීන් විසින් රැඳවුම් නියෝග මත රඳවා ගෙන ඇති බවට තහවුරු කර ඇති අතර ඔහු නිදහස් කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව කැනඩා රජය කියයි.

සිය රටේ ප්‍රධාන සන්නිවේදන උපාංග හා දුරකථන සමාගමක් වන හුවාවේ සමාගමේ නිර්මාතෘවරයාගේ දියණිය මෙන්ම එම සමාගමේ මූල්‍ය පරිපාලන නිලධාරිනිය නිදහස් කරන මෙන් චීනය අවස්ථා ගණනාවකදී කැනඩා රජයෙන් ඉල්ලීම් සිදුකළත් ඔවුහු එය අධිකරණ කටයුත්තක් බැවින් තමන්ට ඒ සඳහා අතපෙවීමක් සිදුකළ නොහැකි බව දන්වා සිටියහ.

මේ හේතුවෙන් චීනය විසින් කැනඩාවට එරෙහිව එකට එක කිරීමක් වශයෙන් කැනේඩියානු පුරවැසියෙක් චෝදනාවක් නොනගාම සිය භාරයට ගෙන ඇති බවය ජාත්‍යන්තර විශ්ලේෂකයින් පෙන්වා දෙයි. මෙම කැනේඩියානු ජාතිකයා රඳවා තබා ගැනීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව චීන රජය විසින් මෙතෙක් කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නැත.

 

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00