2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

සිංගප්පූරුවේත් අගමැති වෙනසක්?

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 149

හෙන්ග් සිංගප්පූරුවේ පාලක මහජන කිුයාකාරී පක්ෂයේ පළමු උප මහලේකම් ධුරය සඳහා පත්වීමත් සමඟ ජනමාධ්‍ය  අනාවැකි පළ කරන්නට වූයේ මීළඟ අගමැති හෙන්ග් ස්වී කියෙට් බවටය. එළඹෙන වසරේදී හෙන්ග් එරට උප අගමැති ලෙස නම් කෙරෙනු ඇති බවටද අනාවැකි පළ වී ඇත. මේ අනුව සිංගප්පූරුවේ මීළඟ අගමැති ලෙස හෙන්ග් පත්වීමේ විශාල ඉඩක් ඇති බව එරට මාධ්‍ය සඳහන් කරන්නට විය. මේ අතර වෙළෙඳ සහ කර්මාන්ත ඇමැති චෑංග් චුන් සිංග් පක්ෂයේ දෙවන උප මහලේකම් ලෙස නම් කෙරුණි. හෙන්ග් සහ චෑංග් කදිම සුසංයෝගයක් වනු ඇතැයි සිංගප්පූරු අගමැති ලී සියෙන් ලුන්ග් සඳහන් කළ අතර එයද නව අගමැතිවරයා ගැන ලබාදුන් ඉඟියක් ලෙස මාධ්‍ය තේරුම් ගෙන තිබේ.

හෙන්ග් ස්වී කියෙට් දේශපාලනයට පැමිණීමට පෙර රාජ්‍ය සේවයෙහි දිගුකලක් සේවය කළ අයෙකි. 1961 දී උපන් ඔහු රැෆ්ල්ස් ආයතනයෙන් අධ්‍යාපනය ලබා, පසුව කේම්බ්‍රජ් සරසවියෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ගත්තේය. ඔහුගේ මුල්ම රැකියා ස්ථානය වූයේ සිංගප්පූරු පොලිස් සේවයයි. පසුව කේම්බ්‍රජ් සරසවියෙන්ම ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියද ලබාගත් ඔහු හාර්වර්ඩ් සරසවියෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ඇත.

සිංගප්පූරු පරිපාලන සේවයට ඇතුළත් වූ හෙන්ග් 1997 දී සිංගප්පූරුවේ පළමු අගමැති ලී ක්වාන් යූගේ පෞද්ගලික ලේකම් ලෙස පත්කෙරුණි. එවකට ලී ක්වාන් යූ එරට ජෙෂ්ඨ ඇමතිවරයෙකු ලෙස සේවය කළ කාලයයි. මේ නිසා හෙන්ග්ද රටේ පෙරළිකාර සංවර්ධනයේ මුලසිටම දායකත්වය දැරූ සාක්කිකාරයෙකි. ඔහු දේශපාලනයට පිවිසියේ 2011 දීය. එම වසරේ පවත්වන ලද මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු, අධ්‍යාපනය ඇමැතිවරයා ලෙස පත්කරනු ලැබුණි. පසුව 2015 මහ මැතිවරණයෙන් යළි පාර්ලිමේන්තුවට තේරී පත් වූ හෙන්ග්, මුදල් ඇමති ධුරයට පත්කරනු ලැබුණි. මීට අමතරව ඔහු  බරසාර වගකීමක් වන සිංගප්පූරුවේ අනාගත ආර්ථිකය පිළිබඳ කමිටුවේ පධානියා ද විය.

මීළඟ මැතිවරණයෙන් පසුව රට බාරගැනීමට නව නායකත්වයක් සූදානම් කළයුතු බවට  වත්මන් අගමැති ලී සියෙන් ලුන්ග් සඳහන් කළේ 2015 සැප්තැම්බර් 11 වැනිදා පවත්වන ලද මැතිවරණයෙන් දින දහහතකට පසුවය. මේ අනුව මීළඟ මහ මැතිවරණයෙන් පසුව තමන් අගමැති ධුරයෙහි කටයුතු නොකරනු ඇති බවටද ලී එදිනම ඇඟවීමක් කර තිබුණි.

සිංගප්පූරුවේ මීළඟ මහ මැතිවරණය 2020දී පැවැත්වීමට නියමිතය. විවිධ විපක්ෂ දේශපාලන පක්ෂ කිුයාත්මක වුවද, මෙතෙක් එරට පාලනය කළ ලී ක්වාන් යූ බිහිකළ මහජන කිුයාකාරී පක්ෂයට එරෙහිව ප්‍රබල විපක්ෂයක් තවමත් ගොඩනැඟී නැත. මෙවන් තත්ත්වයක් යටතේ, 2020 දී පවත්වන මහ මැතිවරණයකින් මහජන ක්‍රියාකාරී පක්ෂය පරාජය වනු ඇතැයි සිතීමටද නොහැකිය.

මේ අතර සිංගප්පූරුවේ මතුව ඇති තවත් කතාබහකට අනුව එරට රජය නියමිත කාලයට පෙර මැතිවරණයක් කැඳවීමට වුවද ඉඩ තිබේ. එවන් තත්ත්වයකදී 2020ට පෙරම සිංගප්පූරුවේ අලුත් අගමැති කෙනෙකු පත්වීමට ඉඩ ඇත. හෙන්ග් ස්වී කියෙට් සිව්වන පරම්පරාව නියෝජනය කරමින් එරට පාලක ධූරයට පත්වන්නට ඉඩකඩ ඇත්තේ එවිටය.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00