2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

චීන ප්‍රාකාරයට නව මුහුණුවරක්!

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 212

චීනයේ පළමු අධිරාජ්‍යයා වන ක්වින්ෂී හුවාන්ග් රාජ්‍ය සමය හෙවත් ක්‍රිස්තු පූර්ව 220 -206 කාලයේ ගොඩනගන ලද කිලෝමීටර 21,196ක් දිගින් යුත් චීන මහා ප්‍රාකාරය දැනට ලෝකයේ තිබෙන මිනිසා විසින් කරන ලද දිගම නිර්මාණයයි. එකල උතුරු දිසාවෙන් ඇතිවිය හැකි ආක්‍රමණ වැළක්වීමේ පියවරක් ලෙස මහා ප්‍රාකාරය ඉදිකරන්නට යෙදිණි. නමුත් කාලයාගේ ඇවෑමෙන් එය ස්වභාව ධර්මයේ ග්‍රහණයට නතුව එය විනාශ වෙමින් පැවතුණි. එබැවින් මෙම ඓතිහාසික ස්මාරකය නවීන තාක්ෂණය භාවිත කරමින් නැවත මුළුමනින්ම සංරක්ෂණය කිරීම දැන් ආරම්භ කර තිබේ.

ස්වභාව ධර්මයට අමතරව, යුද්ධ ගැටුම් සහ මිනිස් ක්‍රියාකාරකම් ගෙවී ගිය දීර්ඝ කාලය පුරා මේ ප්‍රාකාරය විනාශ කර ඇතත් මෙම නව ප්‍රතිසංස්කරණ යටතේ චීන මහා ප්‍රාකාරයෙන් වැඩි කොටසක් අනාගත පරපුර වෙනුවෙන් දායාද කළ හැකිවනු ඇත. මහා ප්‍රාකාරය රඳාගෙන සිටින පාදමේ බදාමය මේ වනවිට විනාශ වී ඇති හෙයින් සුළු වර්ෂාවකදී පවා පාදමේ ගල් ගැලවී යාමෙන් ප්‍රාකාරයේ කුලුණුවලට විශාල හානි සිදු විය හැකිය.

ව්‍යාපෘතිය යටතේ එවැනි ස්ථාන පළමුවෙන් හඳුනාගෙන නිසි ඇගයීමකින් අනතුරුව අදාල ස්ථාන සඳහා ප්‍රමුඛත්වයක් ලබා දී ප්‍රතිසංස්කරණය කරනු ලැබේ. දැනට ද චීන මහා ප්‍රාකාරයේ කොටසක් සංරක්ෂණය කර ඇතත්, ඇතැම් ස්ථාන දැඩි ලෙස විනාශ වී ඇති අතර එම ස්ථානවලට ළඟාවීම අතිශය දුෂ්කර මෙන්ම අනතුරුදායකය. එබැවින් ළඟාවීමට දුෂ්කර ස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා එය සංරක්ෂණය කරන්නන් නව තාක්ෂණික ක්‍රමවේදයක් උපයෝගී කරගෙන තිබේ.

ඒ ඩ්‍රෝන යානා මගින් එවැනි ස්ථාන හඳුනාගෙන ක්‍රම ක්‍රමයෙන් ඒවා අලුත්වැඩියා කිරීමය. ඩ්‍රෝන යානා මගින් ලබා ගන්නා ඡායාරූප සහ දර්ශන නිරීක්ෂණය කර ඔවුහු විනාශ වී ගිය කොටස් පිළිබඳව පූර්ණ තොරතුරු අධ්‍යයනය කරති. පසුව එම කොටස් ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය උපකරණ අඩි පාරවල් දිගේ බූරුවන් මත තබා රැගෙන යාමට සිදුව ඇති අතර කම්කරුවන්ද පයින්ම ඒ ඒ ස්ථානවලට ගමන් කළ යුතුව තිබේ. නව ප්‍රතිසංස්කරණ වැඩට අතගසා ඇති ගෘහ නිර්මාණ ශිල්පී ෂාඕ පෙං පවසන්නේ, කුමන දුෂ්කරතා පැවතියද මේ ඓතිහාසික උරැමය නිවැරදි ක්‍රමවේදයකට සංරක්ෂණය කරන බවය.