2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

චීන උරචක්‍රමාලෙන් මාලේ රට ගැලවෙයි

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 179

නව ලෝකයේ මහා අධීරාජ්‍යයා බවට පත්වෙන්නට චීනය නොයෙක් උප්පරවැට්ටි යොදමින් ක්‍රියාන්විතයක් මෙහෙයවයි. එහි ප්‍රධාන උපක්‍රමය කුඩා රටවල් සමඟ ඇති කර ගන්නා නිදහස් වෙළඳ ගිවිසුම්ය. අනෙක් උප්පරවැට්ටිය අතදිගහැර ණය ලබාදීමය. ලෝක ආර්ථීක විශ්ලේෂකයන් මෙය හඳුන්වන්නෙ ජගත් ආර්ථිකයට එල්ල වු චීන ණය බෝම්බය හැටියටය. වාර්තාවන්ට අනුව පොදු සහ පෞද්ගලික ණය ලෙස චීනය ඩොලර් ට්‍රිලියන 34ක මුදල් තොගයක් ජගත් ආර්ථීකයට මුදාහැර තිබේ. 

මේ වනවිට රටවල් ගණනාවක්ම චීන උප්පරවැට්ටියට ගොදුරුව සිටිති. එහෙත් සිය අසල්වැසි රාජ්ජයන් වැටි ඇති වළේ නොවැටෙන්නට නව මාලදිවයින් රජය දැන් තීන්දු කර තිබේ. චීනය සමග වූ නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් ඉවත්ව චීන ආර්ථික මකරාගෙන් ගැලවීමට ඔවුහු සූදානම්ව සිටිති.

ලොව කුඩා රාජ්‍යයක් වන තමන්  ලොව දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනය සමග  නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීම අත්වැරදීමක් බව මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම වත්මන් ජනපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලීගේ උපදේශකවරයෙක් වන මොහොමඩ නෂීඩ් කියා ඇත.

චීනය හා මාලදිවයින අතර වෙළෙඳ පරතරය ඉතා ඉහළ බවත් චීනය තම රටෙන් කිසිවක් මිලදී නොගන්නා බැවින් මෙය එක් පාර්ශවයකට පමණක් ක්‍රියාත්මක වන ගිවිසුමක් බවත් පෙන්වා දෙන  නෂීඩ් කියා සිටියේ චීනය සමග අත්සන් කර ඇති නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් ඉවත්වීමට මාලදිවයින් නව රජය සැලසුම් කරන බවය. චීනයට ණයවීම හමුවේ රට ආර්ථික දුෂ්කරතාවකට මුහුණපා ඇති බව ඔහු කියා සිටියේය.

මාලදිවයින හා චීනය අතර මෙම නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබුණේ එරට හිටපු ජනපති අබ්දුල්ලා යාමීන් පසුගිය දෙසැම්බර් මාසයේ චීනයේ කළ සංචාරය තුළදීයි. අනතුරුව මසක් තුළ අදාළ වෙළෙඳ ගිවිසුම පාර්ලිමේන්තුව තුළ අනුමත වූයේ විපක්ෂයේ විරෝධතා මධ්‍යයේය. පිටු 1000න් සමන්විත මෙම වෙළෙඳ ගිවිසුම පාර්ලිමේන්තුව තුළ පැයකටත් අඩු කාලයකින් අනුමත වූයේ කිසිදු විවාදයකින් තොරවයි.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00