2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

ට්‍රම්ප් වළේ වැටුණු කොංග්‍රස් මැතිවරණය

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 100

ඇමෙරිකාවේ මධ්‍ය වාර මැතිවරණයේ ප්‍රතිඵලය වූයේ නිල් රැල්ලකි. අඟහරුවාදා පැවති මෙම මැතිවරණය ජනාධිපති ට්‍රම්ප්ගේ පාලනය සම්බන්ධයෙන් පැවැත්වෙන ජනමත විචාරණයක් ලෙස ද සැලකිණි. ලෝකයේම අවධානය මෙම ආණ්ඩුකාරවරුන් තෝරන පුංචි මැතිවරණය වෙත මහා ලොකුවට යොමුව තිබුණි. ඒ අනුව ලැබුණු ප්‍රතිඵලය ට්‍රම්ප් තක්කු මුක්කු කර දමන්නට සමත් විය. විපක්ෂයේ ට්‍රම්ප් විරෝධී ඩිමොක්‍රටික් පක්ෂයට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ වැඩි බලයක් හිමිවීමත් සමගිනි. මැතිවරණ තීන්දුව වන්නේ ට්‍රම්ප් සිය හිතුවක්කාර පාලනයට තිත තැබිය යුතු බවය.

මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවේ, ආසන 435 ක් වෙනුවෙනි. එයින් 231 ක්ම  ඩිමොක්‍රටික් පක්ෂයට හිමිවිය. එහෙයින් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ඩිමොක්‍රටික් පක්ෂයට හිමිව තිබේ. දේශපාලන විශ්ලේෂකයින් එය හඳුන්වන්නේ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වූ අතුල් පහරක් ලෙසය. කෙසේ වෙතත් 204 ක් හිමිකරගත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ බලය ශක්තිමත් කර ගැනීමට හැකි වනු ඇත.

“ඔබලාට ස්තුතියි, හෙට දිනය ඇමෙරිකාවට නව දිනයක් වේවි”.යැයි වසර 8 කට පසු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පාලනය තමන් යටතට පත්වීමත් සමග ජනාධිපති ට්‍රම්ප්ගේ න්‍යාය පත්‍රයට බලපෑම් කිරීමේ හැකියාව ලැබූ ඩිමොක්‍රටික් පක්ෂ නායිකා නැන්සි පේලොසි කීවාය. ඒ අනුව, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය, ව්‍යාපාරික කටයුතු, ළබැඳියාවන් අතර ගැටුම් ආදිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ඩිමොක්‍රටික් පක්ෂයට අවස්ථාව හිමිවනු ඇත. ඊට අමතරව, මෙක්සිකෝව සහ ඇමෙරිකාව අතර තාප්පයක් ඉදිකිරීම වැනි ව්‍යවස්ථාමය සැලසුම් අවහිර කිරීම සඳහාද ඔවුන්ට ක්‍රියාත්මක විය හැකිය.

මෙවර මැතිවරණයේදී දක්නට ලද කැපී පෙනෙන වෙනසක් වූයේ කාන්තා අපේක්ෂිකාවන් වඩාත් හොඳ ප්‍රතිඵල අත්කරගෙන තිබීමය. ඒ අනුව 29 හැවිරිදි ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකාවන් දෙදෙනෙකු වන ඇලෙක්සැන්ඩ්‍රියා ඔකැෂීයෝ-කෝටෙස්  සහ ඇබී ෆන්ක්නෝර්  ඇමෙරිකානු මැතිවරණ ඉතිහාසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරී පත්වුණු ලාබාලතම කාන්තාවන් දෙදෙනා බවට පත්ව ඇත. මේ අතර, ඉහාන් ඕමාර් සහ රෂිඩා ට්ලයිබ් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කරන පළමු මුස්ලිම් කාන්තාවන් වනු ඇති අතර ශැරිස් ඩේවිඩ්ස්  සහ ඩෙබ්රා හාලන්ඩ්  එසේ තේරී පත්වන පළමු ස්වදේශික ඇමෙරිකානු කතුන් වනු ඇත. එම සියලුදෙනා ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාවෝ වෙති.

සෙනෙට් මණ්ඩලයේ 51–49 ක් ලෙස තමන්ට පවතින බලය වැඩිකර ගැනීම සඳහා රිපබ්ලිකන් පක්ෂයට හැකිව ඇත. ඒ අනුව විධායක සහ අධිකරණමය පත්කිරීම් තහවුරු කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප්ට බහුතරය ලැබෙනු ඇත. රිපබ්ලිකන් පක්ෂය මෙහිදී ලැබූ විශේෂ ජයග්‍රහණය වන්නේ, ඉන්ඩියානා, මිසුරි සහ උතුරු ඩකෝටා නියෝජනය කළ ඩිමොක්‍රටික් නියෝජිතයන් පරාජය කිරීමය. කෙසේ වෙතත්, මිචිගන්, ඉලිනොයි සහ කැන්සාස් යන ජනපදවල ආණ්ඩුකාර ධුර ඩිමොක්‍රටික් පක්ෂයට හිමි වී තිබේ.

මෙම මැතිවරණය වර්ගවාදය හා නීති විරෝධී සංක්‍රමණික අර්බුද ඇමරිකාවේ කරලියට පැමිණි කාලවකවානුවක යෙදී තිබුණි. ඇමරිකාවේ ජනාධිපතිවරයාගේ පාලන කාලයෙන් අර්ධයක් ගතවෙද්දී ඇමරිකානු මහජන නියෝජිත සභාවට සහ සෙනෙට් මණ්ඩලයට මහජන නියෝජිතයන් පත්කර ගැනීම සිදුවන අතර පොදුවේ මෙම සභාවන් කොංග්‍රස් මණ්ඩලය ලෙස හැඳින්වෙයි. මහජන නියෝජිත සභාවේ ආසන 435ක් සහ සෙනෙට් අසුන් 100ක් අතුරින් 35ක් සඳහා පැවැත්වූ මෙම මැතිවරණය ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ඉදිරි වසර 2ක කාලය සඳහා තීරණාත්මක බලපෑමක් ඇතිකර හමාරය.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00