2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

189ක් බිලිගත් ඉන්දුනීසියා ගුවන් අනතුර

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 220

ගුවන්ගත කිරීමෙන් විනාඩි කිහිපයක් ඇතුළත මුහුදට කඩා වැටී ඇති ඉන්දුනීසියාවේ අභ්‍යන්තර ගුවන් සේවයට අයත් බජට් ගුවන් යානයේ ඒ වනවිට සිටි මගීන් හා කාර්ය මණ්ඩලයේ 189 දෙනාම මියගොස් ඇතැයි දැන් විශ්වාසය පළව තිබේ. එයින් තිදෙනෙක් දරුවන්ය. ඉන්දුනීසියාවේ මුදල් අමාත්‍යාංශයේ 20 දෙනෙක් ද ගුවන් යානයේ සිටි බව තහවුරු වෙයි. යානයේ කළු පෙට්ටිය බ්‍රහස්පතින්දා වනවිට සොයාගන්නට හැකි විය. ගුවන් යානය ආපසු ජකර්තා ගුවන් තොටුපොළට ගොඩබැස්වීමට අවසන් වරට එහි ගුවන් නියමුවා අවසර ඉල්ලා ඇති අතර එම අවස්ථාවෙහි ගුවන් යානය සහ පාලක මැදිරිය අතර සබඳතා බිඳ වැටී තිබේ.

මෙම ගුවන් යානය සොයා සෝදිසි මෙහෙයුම්වල නිරතවූවන් පැවසුවේ, මුහුදු පතුල හාරා මඩ ඉවත් කර කළු පෙට්ටිය සොයාගත් බවය.

ලයන් එයාර් බජට් ගුවන් සේවයට අයත් මෙම යානය, ගුවන් ගත කර විනාඩි 13කට පසු එහි සන්නිවේදන සබඳතා බිඳ වැටී තිබිණි. එම අවස්ථාව වනවිට ගුවන් යානය වේගය වැඩි කරමින් තිබූ නමුත් සීඝ්‍රයෙන් පහළට කඩා වැටෙමින් තිබූ බව අවසන් සන්නිවේදනය අනුව පැහැදිලි වේ.

මෙම ගුවන් යානය ජකර්තා අගනුවර සිට උදෑසන 6.20ට සුමාත්‍රා ආශ්‍රිත බාන්ග්කා බලා පියාසර කිරීම ඇරැඹීය.

මේ අතර ඉන්දුනීසියානු මුහුදට ගුවන් යානය කඩා වැටෙන්නට ඇතැයි සැකකරන ස්ථානයේ මීටර 30-40 ක් ගැඹුරින් ගමන් මළු, ජංගම දුරකතන කොටස් සහ ගුවන් යානා කොටස් හමු වී තිබේ.

අනතුරට පත් ගුවන් යානය CFM LEAP-1B එන්ජින් දෙකකින් බලය ලබා තිබූ අතර, එම එන්ජින් මේ වසරේ අගෝස්තුවේ ලබාදුන් ඒවා බවද වාර්තා වේ. මෙම ලයන් එයාර් ගුවන් යානය, 2017 වසරේ සිට ගුවන් ගමන්වලට යොදවනු ලබන්නකි. එහි ගුවන් නියමුවා, පියාසැරි පැය 11,000ක අත්දැකීම් සහිත පළපුරුදු අයෙක් බව ගුවන් සේවය පවසයි. බජට් ගුවන් සේවාවක් වන ලයන් එයාර්, වසර 2000 පමණ පටන් ඉන්දුනීසියාව තුළ ක්‍රියාත්මක වෙයි. ඉන්දුනීසියාවේ ප්‍රධාන පෙළේ අභ්‍යන්තර ගුවන් සේවයක් වන එය, ගුවන් මාර්ග 183ක පමණ ක්‍රියාත්මකය. එසේම මැලේසියාව, සෞදි අරාබිය සහ චීනය වෙත ද ලයන් එයාර් ගුවන් සේවය ක්‍රියාත්මකය.

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30