2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

ජපානයේ අලුත්ම සාලිය - මාලා ආදර අන්දරය

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 184

 

සාලිය මාලා ප්‍රේම කතාවට සමාන තොරතුරක් නැවතත් ජපානයෙන් වාර්තා වී තිබේ. ජපානයේ තවත් රජ කුමරියක් සිය රාජකීයත්වය අතහැර සාමාන්‍ය වැසියකු සමඟ විවාහ වීමත් සමඟිනි. ඇය අකිහිතෝ අධිරාජ්‍යයාගේ ඥාති සහෝදරයකුගේ දියණිය වන අයාකෝ කුමරියයි.

ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයාගේ ඥාති සහෝදරයකු වන නැසීගිය ටකමොඩෝ කුමරුගේ තුන්වැනි දියණිය වන අයාකෝ කුමරිය මෙසේ රජකම අත්හැර සාමාන්‍ය වැසියකු සමඟින් විවාහ දිවියට පිවිස තිබේ. සිය ඥාති සහෝදරිය අනුව යමිනි. අකිහිතෝ අධිරාජ්‍යයාගේ මිණිපිරියක වන මාකෝ කුමරිය පසුගිය වසරේදී මෙලෙසම සිය රාජකීයත්වය අතහැර සාමාන්‍ය පුද්ගලයකු සමඟින් විවාහ වුණි. 28 හැවිරිදි වියේ පසුවන අයාකෝ කුමරිය විවාහ වී ඇත්තේ ජපාන නාවික සමාගමේ සේවකයකු වන 32 හැවිරිදි කේයි මොරියා සමඟිනි. ටෝකියෝහි මෙයිජි ආශ්‍රමයේදී සාම්ප්‍රදායානුකූලව ඔවුන්ගේ විවාහය සිදුවිය.

නව යුවළට සුබ පැතීම සඳහා අමුත්තන් සහ රටවැසියන් සිය ගණනක් ආශ්‍රමය ඉදිරිපිටට රැස්වී සිටියහ. මෙම විවාහයත් සමඟ අයාකෝගේ රාජකීයත්වය අහෝසි වන අතර ඉදිරියේදී ඇය අයාකෝ මොරියා ලෙස හඳුන්වනු ඇති.