2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

බෙගම් ඛලීඩා ෂියා තවත් හත් අවුරැද්දක් මහඋළු ගෙදරට!

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 94

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි බෙගම් ඛලීඩා ෂියා, දෙවැනි දූෂණ නඩුවෙන් ද වරදකාරිය වී නැවත වරක් සිරගෙට නියම විය. ඇගේ මියගිය සැමියාගේ නමින් පිහිටුවාගෙන ඇති පුණ්‍ය අරමුදලක් හරහා මිලියන ගණනක් ගසා කෑ බව මෙම නඩුවේදී ඔප්පු විය. එහි නම Zia Charitable Trust ය. බෙගම් ඛලීඩා ෂියාගේ සැමියා, බංග්ලාදේශයේ 7 වැනි ජනපතිය.  මෙම අධිකරණ තීන්දුව ලබාදෙනුයේ බංග්ලාදේශ මහ මැතිවරණය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබියදීය. රට තුළ තවමත් ප්‍රබල දේශපාලන චරිතයක් සේ සැලකෙන ඛලීඩා ෂියාගේ දේශපාලන අභිප්‍රායයන්ට මෙමගින් විශාල බලපෑමක් එල්ල වනු ඇතැයි සැලකේ.

73 හැවිරිදි හිටපු බංග්ලාදේශ නායිකාව 2018 පෙබරවාරි මාසයේ සිට බන්ධනාගාරගත කර සිටියි. ඒ, ඇගේ සැමියා වන හිටපු ජනාධිපති ෂීයෝර් රහ්මන්ගේ නමින් නම් කළ අනාථ නිවාසයක් හරහා ජනතා මුදල් මංකොල්ල කෑ බව සනාථ වීමත් සමඟය. ඇය සමඟ තවත් තිදෙනෙක්, මෙම අමෙරිකානු ඩොලර් 375,000ක දූෂණ වරද සඳහා වරදකරු කෙරිණි. එම නඩුවේදී එම මුදල් ලැබුණු ආකාරය පැහැදිලිව පෙන්වීමට ඇය අසමත් වූවාය.

අලුත් නඩු තීන්දුව ලබාදීම සඳහා ඩකා අගනුවර නසීමාඩීන් පාරේ පැරණි මධ්‍යම බන්ධනාගාරය අසල තාවකාලික අධිකරණ පරිශ්‍රයක් පවත්වාගෙන යාමට සිදුවිය. නඩුවේ අවසන් කාර්යපටිපාටීන් ඛලීඩා ෂියා නොමැතිව ඉදිරියට පවත්වාගෙන යාමට සිදුව තිබුණේ, ඇය අධිකරණයට පැමිණීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. ඒ සඳහා හේතු ලෙස ඇය දක්වා තිබුණේ තමන්ගේ එක් අතක් සහ පාදයක් අප්‍රාණික වෙමින් පවතින රෝගී තත්ත්වයකි.

Zia Charitable Trust දූෂණ නඩුව ගොනුකරනු ලැබුවේ 2011 වසරේදී දූෂණ විරෝධී කොමිසමයි.  මෙම නඩුව පවත්වාගෙන යාමට විරෝධය පළකරමින් ඛලීඩා ෂියාගේ නීතීඥයන් විසින් අභියාචනයක් ද ගොනුකර තිබූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙසට බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණයට, එම දූෂණ විරෝධී අධිකරණයේ කාර්යපටිපාටීන් සඳහා තිබූ බාධක ඉවත් කිරීමට ද සිදුව තිබිණි. පසුගිය සැප්තැම්බර් 20 වැනිදා, ඛලීඩා ෂියා නොමැතිව නඩුව පවත්වාගෙන යාමට අධිකරණය මඟ හෙළිකරගත්තේ ඒ අනුවය. ඇය සම්බන්ධ ගැටලුවට යුක්තිය ඉටුකිරීමට බංග්ලාදේශ බලධාරීන් මේ කිසිදු කාරණයක් බාධාවක් කර ගත්තේ නැත.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00