2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

සංක්‍රමණික සටනට ට්‍රම්ප්ගෙන් 15000ක්

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 34

මධ්‍යම අමෙරිකාවේ සිට එක්සත් ජනපදය වෙත පැමිණෙන සංක්‍රමණික තවලම වළක්වාලීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙක්සිකෝ දේශසීමාව වෙත 5200ක අමතර හමුදා බලඇණියක් යැවිමට කටයුතු කර තිබුණි. එය සිරියාවේ අයි.එස්. සන්නද්ධ කණ්ඩායම් සමඟ සටන් වැදීමට යොදවා ඇති අමෙරිකානු හමුදා භට පිරිස මෙන් දෙගුණයක් විය. නමුත් ඔහු බදාදා කීවේ මේ හමුදා භට පිරිස 15000 දක්වා ඉහළ දමන බවය. මේ ඇෆ්ගනිස්ථානයේ සිටින අමෙරිකානු භට පිරිසට සමාන සංඛ්‍යාවකි. නැත්නම් ඉරාකයේ සිටින භට පිරිස මෙන් 3න් ගුණයකි.

ජනපති ට්‍රම්ප් නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ පාද චාරිකාව හැඳින්වූයේ අමෙරිකා එක්සත් ජනපදය ආක්‍රමණය කිරීමේ පියවරක් ලෙසයි. මේ නිසා එය වැළැක්වීම සඳහා මෙලෙස හමුදා බලය යොදවන බව ඔහු කියා ඇත. 4000කට අධික  සංක්‍රමණිකයන් රංචුවක් තවලමක් සේ මෙක්සිකෝව ඔස්සේ අමෙරිකාව බලා ඵන බව වාර්තා වී තිබුණ ද සත්‍ය සංඛ්‍යාව මෙයට වඩා ඉතා ඉහළ බව අනතුරු ඇඟවූ ට්‍රම්ප් තමන්ට හොඳට සෙනග ගණන් කළ හැකි බවට පුරාජේරුවක්ද දෙසා තිබුණි. මේ තරම් මහා ජන සන්නිපාතයක් වළක්වන්නට කලින් සිටම සුදානම් විය යුතු හෙයින් දේශසීමා කරා 15000ක්වත් හමුදාව යැවිය යුතු බව ට්‍රම්ප් කීවේ ආරක්ෂක දෙපාර්තමේන්තුවද අන්දමන්ද කරමිනි. මේ සඳහා අඩු තරමේ මිලියන 150ක අමතර වියදමක් දැරිය යුතුව ඇති හෙයිනි. ඒ අතර ඔහු හමුදාවට කීවේ ගල්මුල් ගසන්නන් හට වෙඩි තබන ලෙසය. සංක්‍රමණිකයන් වැළැක්වීම ට්‍රම්ප්ගේ මැතිවරණ වගාඩම්බරයකි. මේ සංක්‍රමණික තවලම් කතාවද එන සතියේ පැවැත්වෙන සෙනෙට් ඡන්ද කඩාගැනීමේ ප්‍රචාරක උප්පරවැට්ටියක් බව විචාරක මතයයි.