2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

අයිෆල් කුලුනු 60ක යකඩ ගිල දැමූ මරණයේ පාලම විවෘත වෙයි!

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 662

ලොව දිගම මුහුදු පාලම පසුගිය බදාදා නිල වශයෙන් විවෘත විය. චීනයේ සිට හොංකොං සහ මැකාවු දිවයින් යා කරමින් ඉදිවූ කිලෝමීටර් 55ක් දිගැති මෙය දකුණුදිග චීනයේ ප්‍රධාන වෙරළ නගර තුනක් යා කෙරෙමින් දිවෙයි. මෙම පාලම ඉදිකිරීමට වසර 9ක් ගත වූ අතර සේවකයන් 18 දෙනෙක් එම ව්‍යාපෘතියේ අනතුරුවලින් මිය ගියහ. මේ නිසා එය සමහරු හැඳින්වූයේ මරණයේ පාලම ලෙසිනි.

අයිෆල් කුලුනු 60ක් ඉදිකිරීමට තරම් ප්‍රමාණවත් ලෝහ ප්‍රමාණයක් එනම් වානේ ටොන් හාර ලක්ෂයක් පමණ යොදාගෙන මෙය නිර්මාණය කර තිබේ. ඩොලර් බිලියන 20ක පමණ වියදමින්, පර්ල් ගංගාධාරයේ සිට මුහුද ඔස්සේ ඉදිකර ඇති පාලම කෘත්‍රිම දිවයින් දෙකක් හරහා දිවෙන අතර එය මුහුදු උමඟකින්ද සමන්විතයි.

පාලම මගින් හොංකොං සහ චීනය අතර ගමනාගමනයට වැය වූ පැය 4ක කාලය විනාඩි 30ක් දක්වා අඩු වන බවයි චීන බලධාරින් ප්‍රකාශ කරන්නේ. මෙම පාලම මතින් රථවාහන ධාවනය කළ හැක්කේ, ඒ සඳහා විශේෂ අවසරපත් ලබාගත් වාහන හිමියන්ට පමණි. ඔවුන් යම් ගාස්තු ගෙවීමක් කර එම මාර්ගය භාවිත කළ යුතුය. චීනයේ සුහායි වෙත ගමන් කිරීම සඳහා අවසරපත් නිකුත් කෙරෙනුයේ, හොංකොං වැසියන් 10,000කට පමණි. එම අවසර පත් වසර 5ක් සඳහා වලංගු වේ. ඒ අනුව, මෙම පාලම වසරකට ඩොලර් දශලක්ෂ 86ක් පමණ උපයනු ඇති බවට විශ්වාසය පළව තිබේ.