2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

ලන්ඩන් නගරයට ඩිජිටල් ටැක්සි

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 121

ලන්ඩන් නගරයේ ක්‍රියාත්මක ඇඩිසන් ලී ටැක්සි සමාගම, සිය ගනුදෙනුකරුවන් සඳහා තවත් වසර තුනකින් රියදුරු නොමැති ස්වයංක්‍රීය ටැක්සි සේවාවක් හඳුන්වා දීමට සූදානමින් සිටී. 2021 දී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති රියදුරු නැති නව ටැක්සි සේවයට අමතරව, පාසල්, කාර්යාල, ගුවන් තොටුපළ ආදී ස්ථාන වෙත මගීන් රැගෙන යාම සඳහා බස් සේවාවක් ඇරැඹීම ද ඔවුන්ගේ සිහිනයක් බව ඇඩිසන් ලී සමාගම වැඩිදුරටත් පවසයි.

ඔවුන් මෙම ව්‍යායාමය සඳහා ඔක්ස්බොටිකා නමැති ස්වයං ධාවන මෘදුකාංග සමාගම සමඟ එක්ව කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවද දැනුම් දෙයි. ඒ වෙනුවෙන්, අදාළ තාක්ෂණික සමාගම සමඟ එක්ව දැනටමත් ලන්ඩන් නගරය ඩිජිටල්ගත කිරීම ආරම්භ කර ඇති බවද ඇඩිසන් ලී සමාගම කියයි. එහිදී, එම ඩිජිටල් මාර්ග සිතියම්වල මාර්ග බාධක, මාර්ග සලකුණු සහ ආලෝක සංඥා සම්බන්ධ දත්ත ගබඩා කරගැනීමක් සිදුවෙයි.

මේ වැනි සංකල්පයක් ක්‍රියාවට නැංවීම තුළින් දුෂ්කර ලිපිනයක් සොයාගැනීම, ඉඩකඩ ඇති රථගාල් සොයාගැනීම මෙන්ම, ඒ නිසා ධාවන දුර අවම වීමෙන් නගරයේ වායු දූෂණය අවම වීමද සිදුවන බව එම සමාගම වැඩිදුරටත් පෙන්වා දෙයි.