2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

ඉතියෝපියාවේ පළමු ජනපතිනිය!

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 142

ඉතියෝපියාවේ තෙවන ජනාධිපතිවරයා ලෙස 2013 වසරේ පත්වූ 63 හැවිරිදි මුලාටු ටෙෂෝම් වසර පහක කාලයක් එම ධුරයේ කටයුතු කළ අතර පසුගියදා බලාපොරොත්තු නොවූ අවස්ථාවක සිය තනතුරෙන් ඉල්ලා අස්විය.

ඒ සමගම ඉතියෝපියාවේ ජනපති ධුරයට පත්වූ පළමු කාන්තාව හැටියට ඉතා පළපුරුදු රාජතාන්ත්‍රිකාවක වන සහලේ-වර්ක් සව්ඩේ, පත් කරගන්නට ඉතියෝපියාවේ පාර්ලිමේන්තු සාමාජිකයන් කටයුතු කළහ. ඒ අනුව ඇය මේ වනවිට අප්‍රිකානු රටවල සිටින එකම රාජ්‍ය නායිකාව බවට පත්ව ඇත.

එරට අග්‍රාමාත්‍ය අබියි අහ්මද් විසින් පත් කරනලද නව කැබිනට් මණ්ඩලයේ හරි අඩක් තනතුරු දරන්නේ කාන්තාවන්ය. එම පත්කිරීම් වලින් සතියකට පසු සහලේ-වර්ක් සව්ඩේ ජනාධිපතිනිය ලෙස සාමාජික ඡන්දයෙන් තේරී පත්විය. ඉතියෝපියාව තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඇති කිරීමට කටයුතු කරන බව සිය තනතුරෙහි දිව්රැම් දීමෙන් පසු සහලේ-වර්ක් සව්ඩේ පොරොන්දු වූවාය.

සහලේ-වර්ක් සව්ඩේ කලක ජිබුටි සහ සෙනගාලයේ ඉතියෝපියානු තානාපතිවරිය ලෙස ද සේවය කර තිබේ. එමෙන්ම, ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තනතුරු ගණනාවක්ද හොබවා ඇති අතර මධ්‍යම අප්‍රිකානු ජනරජය තුළ සාමය ගොඩනැගීමේ වැඩපිළිවෙලේ ප්‍රධානියාද වූවාය. ජනාධිපතිනිය ලෙස තේරී පත්වීමට පෙර ඇය අප්‍රිකානු හවුලේ එක්සත් ජාතීන්ගේ තානාපතිනිය ලෙස කටයුතු කරමින් සිටියාය. ඉතියෝපියානු ව්‍යවස්ථාවට අනුව දේශපාලන බලය ඇත්තේ අග්‍රාමාත්‍යවරයාට වන අතර, ජනාධිපති යනු ගෞරවනීය තනතුරක් පමණි.