2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

අමෙරිකාව කැළඹූ බෝම්බ පාර්සල්

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 55

අමෙරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබලයින් දෙදෙනකු වන හිටපු ජනපති බරුක් ඔබාමා සහ අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම්වරියක වන හිලරි ක්ලින්ටන් වෙත මෙන්ම CNN මාධ්‍ය ආයතනයටද පුපුරණ ද්‍රව්‍ය බවට සැකකෙරෙන පාර්සල් ලැබී තිබුණි. එය සිදුවූයේ, නිව් යෝර්ක් නගරයේ පදිංචි ධනවතෙකු වන ජෝර්ජ් සෝරෝස්ගේ නිවස ආසන්නයේ තිබී බෝම්බයක් සොයාගැනීමේ සිද්ධියෙන් දින දෙකකට පසුවය. ඉන්පසු රටේ තැන තැන විවිධ පුද්ගලයන් වෙත බොරු බෝම්බ පාර්සල් තර්ජන ගලාඑන්නට විය. සිකුරාදා ආරංචි වූයේ හිටපු උප ජනාධිපති ජෝ බිඩන් සහ සුපිරි හොලිවුඩ් නළු රොබර්ට් ඩී. නීරෝ වෙතද පාර්සල ලැබී ඇති බවයි. මේ වනතුරු මෙම පාර්සල හේතුවෙන් කිසිවකුටත් අනතුරු සිදුව නැත. නමුත් මෙම පාර්සල ලැබෙන හැමදෙනාම පාහේ ට්‍රම්ප් සහ ඔහුගේ අන්තනෝමතික පාලනය විවේචනය කළ අයයි. මේ නිසා සැකය එල්ල වී ඇත්තේ අමුතු වැඩ සඳහා කොහොමත් ප්‍රසිද්ධ ට්‍රම්ප් වෙතය. ට්‍රම්ප් මුලින් මේ පාර්සල් සෙල්ලම හෙළාදුටු අතර දැන් දේශපාලන කැළඹීමකට උඩගෙඩි දෙන බව කියමින් දෙස් දෙවොල් නගන්නේ ජනමාධ්‍ය සහ විපක්ෂ ඩෙමොක්‍රැටික් පාක්ෂිකයන් වෙතය.

 

අදාළ පාර්සල් තැපැල් මගින් ලද අය අතර, හිටපු ජනාධිපති බරුක් ඔබාමා, හිටපු අමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සහ CIA ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජෝන් බ්‍රෙනන්ද  එයට  අමතරව, ඩිමොක්‍රටික් මන්ත්‍රී මැක්සීන් වෝටර්ස්, ඩිමොක්‍රටික් පක්ෂයේ ජාතික කමිටුවේ හිටපු සභාපතිනියක වූ ඩෙබී ෂුල්ට්ස් සහ හිටපු නීතිපති එරික් හෝල්ඩර්ගේ නම්ද විය. හිටපු නීතිපති එරික් හෝල්ඩර් වෙත යවා ඇති පාර්සලයේ ලිපිනය වැරදි ලෙස ලියා තිබූ හෙයින් එය ඔහුගේ කාර්යාලයට භාර දී තිබිණි. බරුක් ඔබාමා සහ හිලරි ක්ලින්ටන් වෙත එවා ඇති පාර්සල් ඔවුන්ගේ නිවසටම යැවීමට ක්‍රියා කර තිබිණි.

FBI ආයතනය පැවසුවේ, CIA ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජෝන් බ්‍රෙනන්ට නම්කර තිබූ පාර්සලය CNN ආයතනයේ තැපැල් අංශය වෙත යවා තිබූ බවය. CIA ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජෝන් බ්‍රෙනන් බදාදා දිනයේ CNN ආයතනයේ රූපවාහිනී සාකච්ඡාවකට සහභාගි වීමට නියමිතව සිටි බව එරට මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. ඔහු CNN රූපවාහිනී සේවයේ වැඩසටහන් සඳහා සම්පත් දායකයෙකු ලෙස නිරන්තරයෙන් ක්‍රියාකරන අතර ජනාධිපති ට්‍රම්ප්ට විවේචන එල්ල කරන්නෙකු ලෙස ප්‍රකටය. බෝම්බයක් බවට සැක කෙරැණු පාර්සලය ලැබීමෙන් පසුව CNN ආයතනයේ නිව් යෝර්ක් කාර්යාලයේ සේවකයින් සියලුදෙනා ඉන් ඉවත් කෙරිණි. 
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ, මෙවැනි තර්ජනවලට “අමෙරිකාව තුළ ඉඩක් නොමැති” බවය. “මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් FBI ආයතනය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව” තමන්ට දැනුම් දුන් බව ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී ප්‍රකාශ කළේය. “මම වැඩියෙන්ම මුල් තැන දෙන්නේ අමෙරිකානු වැසියන්ගේ ආරක්ෂාවටයි. මේ වගේ අවස්ථාවල අපි එකාවන්ව සිටිය යුතුයි. අමෙරිකාව තුළ තර්ජන, දේශපාලන ප්‍රචණ්ඩත්වය හෝ එවැනි කිසිදු ක්‍රියාවකට අමෙරිකාව තුළ ඉඩක් නැති බවට අපි පැහැදිලි පණිවුඩයක් දෙන්න ඕන.” ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේය.

මේ අතර, නිව් යෝර්ක් පොලිස් කොමසාරිස්වරයා මාධ්‍ය අමතමින් පවසා ඇත්තේ, තැපැල් මාර්ගයෙන් එවන මෙවැනි පාර්සල් සම්බන්ධයෙන් නිරන්තර අවධානය යොමු කිරීමට උපදෙස් දී ඇති බවය. ඒකාබද්ධ ත්‍රස්ත කාර්ය බලකායේ සහය ඇතිව අදාළ පාර්සල් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව නිව් යෝර්ක්හි FBI ආයතනය පැවසීය. නිව් යෝර්ක් නගරාධිපති බිල් ඩී බ්ලැසියෝ පැවසුවේ, මෙම උත්සාහය “අමෙරිකාවේ නිදහස් මාධ්‍යයට සහ දේශපාලන නායකයින්ට බලපෑම් කිරීමක්බවය.

ෆ්ලොරිඩාහි පැවති ප්‍රචාරක රැස්වීමකදී හිලරි ක්ලින්ටන්, තමන් සහ සිය පවුල නිරුපද්‍රිතව සිටින අතර ආරක්ෂක අංශ වෙත ස්තුතිය පළකරන බව කීවාය. වොෂින්ටන්හි පිහිටි බරැක් ඔබාමාගේ නිවස අවට ආරක්ෂාව වැඩිකර තිබේ. කෙසේ වෙතත්, ප්‍රසිද්ධ පුද්ගලයින්ට එරෙහිව &ප්‍රචණ්ඩකාරී ප්‍රහාර එල්ල කිරීමේ උත්සාහයන්” හෙළා දකින බව ධවල මන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් පැවසීය. එහෙත්, CNN සභාපති ජෙෆ් සකර් විසින් ජනාධිපතිවරයා සහ ධවල මන්දිර ප්‍රකාශිකාවද විවේචනයට ලක් කරනු ලැබිණි. “මාධ්‍ය වෙත අඛණ්ඩව ඔවුන් දිගින් දිගටම එල්ල කරන ප්‍රහාරවල බරපතලකම ගැන ධවල මන්දරයට කිසිම වැටහීමක් නැහැ” ඔහු පැවසීය. “ජනාධිපතිවරයා සහ ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් අඩුතරමින් ඔවුන් පාවිච්චි කරන වචනවල තේරුමවත් දැනගත යුතුයි” ජෙෆ් සකර්, CNN සභාපති අවධාරනය කර  තිබුණි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම මාධ්‍යවේදීන් හැඳින්වූයේ, “ජනතාවගේ සතුරන්” යනුවෙනි.