2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

රෆායල් ජෙට් හුටපටය ඉන්දීය බුද්ධි ලොක්කා මහ පාන්දර ගෙදර යවයි

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 62

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අමුතු පෙත්සමක් විභාගයට ගැනීම බදාදා ඇරුඹු‍ණේය. ඒ පෙරළිකාර තීන්දු ලබාදීමට ප්‍රසිද්ධ නව අගවිනිසුරු ගොගෝයි හමුවේය. මේ ආන්දෝලනාත්මක නඩුව පවරා ඇත්තේ ඉන්දියාවෙ හිටපු බුද්ධි අංශ ලොක්කාය. ඉන්දීය රජයට එරෙහිවය.

ඉන්දිය මධ්‍යම බුද්ධි කාර්යාංශයේ (සී.බී.අයි.) ප්‍රධානි ආලෝක් කුමාර් වර්මා සහ ඔහුගේ දෙවැනියා ලෙස කටයුතු කළ රාකේෂ් අස්තානා ඇතුළු ඔවුන්ගේ සගයන් පිරිසක් හදිසියේම අඟහරුවාදා පාන්දර 2ට බලෙන් නිවාඩු යැවීමට රජය කටයුතු කළේය. පාන්දරම වර්මාගේ ඔෆීසිය සීල් තබා ඔහු සතුව ඒ වනවිට තිබු ලිපිගොනු පවරා ගැනීමද සිදුවිණි. වසර 55ක් වන ආයතන ඉතිහාසයේ මෙවැනි ඇදහිය නොහැකි සිද්ධියක් වාර්තා වූයේ ප්‍රථම වතාවටය.

වර්මා පසුදාම වැඩට ගියද හරවා යවනු ලැබු අතර පසුව ඔහුට නිවාඩු ගැන්වීමේ ලිපිය අතට ලැබුණි. ඔහු වහාම ඉහළ උසාවියට පෙත්සමක් ගොනුකළේ රජය, සී.බී.අයි. ආයතනයේ ස්වාධීනත්වය සහ ස්වෛරිභාවය කෙළෙසා ඇති බව කියමිනි. මේ ක්‍රියාව සහ ඉදිරි ජනවාරි අග විශ්‍රාම යාමට නියමිත වර්මා කලින් නිවාඩු ගැන්වීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ලෙස කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි චෝදනා එල්ල කරයි.

රජයේ මෙම නාටකීය අළුයම මෙහෙයුමට ආසන්නතම හේතුව ලෙස සැලකෙන්නේ වර්මා සහ දෙවැනියා වූ අස්තානා අතර උසාවිය දක්වා දුරදිග ගිය අල්ලස් වංචාවක් පිළිබඳ එකිනෙකාට එරෙහි චෝදනා කර ගැනීමකි. නමුත් ඔක්තෝබර් 4 වැනිදා වනවිට වර්මා වෙත සවිස්තරාත්මක පැමිණිල්ලක් ලැබී තිබුණේ රෆායෙල් ජෙට් 36ක් ප්‍රංශයෙන් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන කූප්‍රකට ගනුදෙනුව සම්බන්ධව පරීක්ෂණ අරඹන ලෙසටය. වර්මා රජයේ අභිප්‍රායට අනුව මේ කාරණාවේදී එය යට ගැසීමට කටයුතු නොකර නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට යාම මේ අළුයම් මෙහෙයුමේ සැබෑ හේතුව බව දැන් අධිකරණය හමුවේද ප්‍රකාශ වී තිබේ. මේ අවනඩුවද අගවිනිසුරු රංජන් ගොගෝයිගේ පෙරළිකාර තීන්දුවකට මේ වනවිට මගපාදා තිබේ.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00