2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

කතුන්ට මුල්තැන දෙන අලුත්ම රට!

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 107

පසුගිය අප්‍රේල් මාසයේදී ඉතියෝපියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වුණු 42 හැවිරිදි අබියි අහ්මද් ප්‍රතිසංස්කරණ රාශියක් එරට තුළ සිදු කළ  තැනැත්තෙකි. අසල්වැසි එරිත්‍රියාව සමඟ දශක දෙකකට ආසන්න කාලයක් පුරා පැවැති ගැටුම් නතර කිරීමට පියවර ගැනීම ඒ අතර කැපී පෙනෙයි. දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමටත්, ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් හඳුන්වාදීමටත් අගමැතිවරයා කටයුතු කර තිබිණ. මේ අතර එරට අමාත්‍ය ධූර සංඛ්‍යාව 28 සිට 20 දක්වා පහළ හෙළීමට ඔහු ගත් පියවර වෙසෙසින්ම කැපී පෙනෙයි.

දැන් ඔහු අලුත්ම පෙරැළියක් සිදුකර තිබේ. එරට මුල්වරට කාන්තාවක් ආරක්ෂක අමාත්‍ය ධුරයට පත් කිරීම මගිනි. ඒ අනුව ඉදිකිරීම් අමාත්‍ය ධූරය කලින් දැරූ අයිෂා මොහම්මද්, ඉතියෝපියාවේ ආරක්ෂක අමාත්‍යය ධුරයට පත් පළමු කාන්තාව බවට පත්ව තිබේ. එසේම කතානායක ධුරයේ මෙතෙක් කටයුතු කළ මුෆෙරියාට් කමිල් සාමය පිළිබඳ ඇමැතිනිය ලෙස පත් කර තිබේ.

එයින් නොනැවතුණ ඔහු  ඉතියෝපියාවේ අමාත්‍ය ධුරවලින් අඩකට ආසන්න සංඛ්‍යාවක් කාන්තාවන් අතට භාර දී ඇත. පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් අඩුවෙන් වංචා සහ දූෂණවල නිරත වන බැවින් අමාත්‍ය ධුරවලින් වැඩි ප්‍රමාණයක් කාන්තාවන් අතට පත් කළ බව ඉතියෝපියා අග්‍රාමාත්‍ය අබියි අහ්මද් පවසයි. සාමය සහ ස්ථාවර බව ඇති කිරීමෙහිලා කාන්තාවන්ගෙන් ලැබෙන සහය අතිමහත් බවත් අග්‍රාමාත්‍යයවරයා පවසා තිබිණ. කැබිනට් මණ්ඩලයේ කාන්තාවන් සහ පුරුෂයන් සංඛ්‍යාව සමතුලිතව පවත්වාගෙන යෑමට කටයුතු කරන අප්‍රිකා රාජ්‍යයන්  අතර රුවන්ඩාවට හිමිවන්නේ පළමු තැනයි. දැන් දැන් එම ස්ථානයට ඉතියෝපියාවත් ළඟාවෙමින් සිටින බව විචාරකයෝ පවසති.