2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

පිම්මේ යා හැකි මාතර බෙලිඅත්ත අලුත් කෝච්චි පාර

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 1578

“සුද්දා රේල්පාර හැදුවේ නැත්නම් කෝච්චියේ ගිහිනුත් හමාරයි” ඒ රටේ ජනතාවගේ මතයයි. මෙරට පාලනය කළ ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ඉදිකළ රේල්පාරවල් නැවත අලුත්වැඩියා කිරීම හැරෙන්නට අපට අලුතින් රේල්පාරක් ඉදිකරගැනීමට නොහැකි වූ බව සැබෑය. එහෙත් එම මතය මින් මතුවට වලංගු නොවේ. ඒ අන් කවරක් හෝ නිසා නොව, මාතර සිට බෙලිඅත්ත දක්වා අලුතින් ඉදිවන දුම්රිය මාර්ගයෙහි මේ වනවිටත් 95%ක් පමණ වැඩ නිමවා ඇති බැවිනි.

අපේ රටෙහි ජනතාවට අත්‍යවශ්‍යම වූ තවත් දුම්රිය මාර්ගයක් ගැන කතාබහට ලක්වූයේ 70 – 80 දශකවල සිටමය. එහෙත් එය බොහෝ කාලයක් තිස්සේ කතාබහට පමණක්ම සීමාවිය. ඒ මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගයක් ඉදිකිරීමේ භාරදූර කාර්යයයි.

1990 වසරේදී මේ මාර්ගය තැනීමට අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කර තිබුණද රට පුරා අධිවේගී මාර්ග තැනීමේ සංකල්පය මතුවීමත් රටේ ආරක්ෂක වියදම් ඉහළ යාමත් නිසා මාතර - කතරගම දුම්රිය මාර්ගය තැනීමේ කටයුතු දෙවැනි තැනට ඇදවැටී එම සැලසුම් සියල්ල හමස් පෙට්ටියට ගියේ මුදල් නොමැතිකම නිසාමය.

එසේ වුවද එම ව්‍යාපෘතිය පණගැන්වීමට නැවතත් දුම්රිය දෙපාර්තමේන්තුව 2006 වසරේදී කටයුතු යෙදීය. එහිදී දුම්රිය දෙපාර්තමේන්තුවට පමණක් නොව ඉංජිනේරුවන්ට පවා මතුවූ ප්‍රධාන බාධකය වූයේ නිල්වලා ගඟ හරහා පාලමක් තැනීමයි. එම පාලම ගඟ පමණක් නොව නිල්වලා ගඟෙන් පසු ගංවතුරවලට ලක්වන ප්‍රදේශ ද ආවරණය කළ යුතු වූ අතර පාලම තැනීම ආරම්භ කර මාතර සිට විලදුව දක්වා දුම්රියක්ද කෙටි කලක් එහිදී ධාවනය විය. එහෙත් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත රජයෙන් මෙම අදාළ ව්‍යාපෘතිය සඳහා මුදල් සැපයීමට නොහැකි වීමෙන් මාතර - කතරගම දුම්රිය අතරමග ඇණහිටිණි.

එලෙසින් ඇණහිට තිබූ මෙම දුම්රිය මාර්ගයට නැවත පණපෙවීමක් සිදුවන්නේ චීන රජය මෙම ව්‍යාපෘතියට ආධාර ලබාදීමට ඉදිරිපත් වීමත් සමඟය. 2012 වසරේදී චීන එක්සිම් බැංකුව මගින් අමෙරිකානු ඩොලර් මිලියන 248.2ක මුදලක් ලබාදෙන්නේ මාතර - කතරගම දුම්රිය මාර්ගයේ අංක 01 අදියර සඳහාය.

චීන රජයට අයත් ‘චයිනා නැෂනල්, මැෂනරි ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කෝපරේෂන්’ සමාගම එහි වැඩ කටයුතු ආරම්භ කරන ලද්දේ ඒ අනුවය. මාතර - කතරගම දුම්රිය මාර්ගය අදියර තුනක් යටතේ ඉදිකිරීමට යෝජනා වූ අතර එහි පළමු අදියර බෙලිඅත්ත දක්වා ඉදිකිරීමට කටයුතු යොදන ලදී. එහි දෙවැනි අදියර යටතේ බෙලිඅත්තේ සිට හම්බන්තොට දක්වාත්, තෙවැනි අදියර ලෙස හම්බන්තොට සිට කතරගම දක්වාත් ඉදිකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. මෙම දුම්රිය මාර්ගයේ දෙවැනි සහ තෙවැනි අදියරෙහි කටයුතු කෙසේ වුව ද, පළමු අදියරේ වැඩ කටයුතු මේ වනවිට 94%ක්ම අවසන්ව තිබේ.

ඒ අනුව අප රට සුද්දන්ගෙන් නිදහස් කරගත් පසුව මෙරට ඉදිකරනු ලබන පළමු නවතම දුම්රිය මාර්ගය ලෙසින් හැඳින්වෙන මාතර සිට කතරගම දක්වා දිවෙන මේ මාර්ගයේ පළමු අදියර වන මාතර සිට බෙලිඅත්ත දක්වා මාර්ගය ඉතිහාසයට එක්වනු ඇත. අප රටෙහි අනෙක් දුම්රිය මාර්ග හා සසඳන කල මේ මාර්ගයේ විශේෂතා රැසක්ම දක්නට ලැබේ.

එයින් පළමුවැන්න වන්නේ මෙරට අධිවේගයෙන්ම දුම්රිය ධාවනය කළ හැකි දුම්රිය මාර්ගය ලෙසින් මේ මාර්ගය ඉතිහාසයට එක්වීමය. මාතර - කතරගම මාර්ගය ඉදිවී තිබෙන්නේ පැයට කිලෝමීටර 120ක වේගයෙන් දුම්රිය ධාවනය කළ හැකි පරිදිය.

එමෙන්ම මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී හරස් මාර්ග ආරක්ෂාවට ප්‍රමුඛස්ථානයක් ලබාදී තිබේ. ඒ සඳහා විශාල වියදමක්ද දැරීමට සිදුවී ඇත. ඒ අනුව අත්‍යවශ්‍යම ස්ථානයක් හැරෙන්නට දුම්රිය මාර්ගය හරහා හරස් මාර්ග ඉදිකර නොමැත. හරස් මාර්ග ඉදිකර ඇත්තේ දුම්රිය මාර්ගයට පහළින් හෝ ඉහළින් යන පරිදිය. ඒ අනුව ගත් කල දුම්රියටද හරස් මාර්ගවලින් සිදුවන බාධා අඩුවනු ඇත. මාතර සිට වෙහෙරහේන දක්වා දුම්රිය හරස් මාර්ග 8ක්ම ඉදිකිරීමට සිදුව ඇත්තේ අත්‍යවශ්‍යම නිසා වන නමුත් දුම්රිය මාතරින් පිටත්වූ වහාම එම හරස් මාර්ග 08ම එකවර වැසී යාමට සලස්වා දුම්රියේ අධිවේගී ගමනට මාර්ගය සලසා දීමට කටයුතු කෙරෙනු ඇත.

දුම්රිය ඉතිහාසය වෙනස් කරමින් නව වාර්තා කිහිපයක්ම හිමිකරගන්නට මේ දුම්රිය මඟ සමත් වී තිබේ. එයින් පළමුවැන්න මෙරට දිගම බිම්ගෙය සහිත දුම්රිය මාර්ගය මෙහි ඉදිකිරීමයි. එම බිම්ගෙය කැකුණදුර දුම්රිය ස්ථානය අසලම ඉදිවන අතර එහි දිග මීටර 615 කි. එසේම මෙරට භූමි මට්ටමේ සිට වැඩිම උසකින් යුත් දුම්රිය පාලමත් මේ මාර්ගයේ වෙහෙරගොඩ ප්‍රදේශයේ ඉදිකර ඇති අතර ‘වෙහෙරගොඩ පාලම’ නමින් හඳුන්වන එම පාලමද මීටර 21ක උසින් යුක්තය.
මෙම දුම්රිය ගමන් මාර්ගයේ ගමන් ගන්නා මගීන්ට තවත් අත්දැකීමක් මෙම දුම්රිය මාර්ගයේදී හමුවේ. ඒ මෙරට පළමු දුම්රිය ගුවන් පාලමේ ගමන් කරන්නට හැකිවීමය. එය මෙරට දිගම දුම්රිය පාලම ද වනු ඇත. වටගම පාලම නමින් හඳුන්වන එහි දිග කිලෝමීටර 1.5 කි. එමෙන්ම මෙරට දුම්රිය ස්ථානයක් හරහා ප්‍රථම භූගත පිටවීම මෙම දුම්රිය ස්ථානයන්හි ඉදිකර තිබේ. වැවුරුකන්නල දුම්රිය ස්ථානයේ මෙරට ප්‍රථම වරට දුම්රිය ස්ථානයක් සඳහා ඉදිකරනු ලබන ද්විත්ව භූගත මාර්ගයක්ද ඉදිකර තිබේ. මාතර සිට බෙලිඅත්ත දක්වා කිලෝමීටර 26ක දුර ප්‍රමාණයෙන් යුතු වූ මෙම දුම්රිය මාර්ගයෙහි දුම්රිය ස්ථාන 06ක් ඉදිවන අතර එයින් ප්‍රධාන දුම්රිය ස්ථාන 4ක් සහ උප දුම්රිය ස්ථාන 2ක්ද ස්ථාපිත කෙරේ. එම දුම්රිය ස්ථාන මාතර සිට පිළිවෙළින් පිලදුව (කි.මී. 1.2), වෙහෙරහේන (කි.මී. 3.4), කැතනදුර (කි.මී. 06), බඹරුන්ද (කි.මී. 12.89), වැවුරුකන්නල (කි.මී. 17.10), බෙලිඅත්ත (කි.මී. 26.06) ලෙස ස්ථාපිත කර ඇත. මේ අතුරින් පිලදුව හා වෙහෙරහේන උප දුම්රිය ස්ථානයන් ලෙස ඉදිකර ඇත.

පසුගිය මස 06 වැනිදා මෙම දුම්රිය මාර්ගයෙහි නිරීක්ෂණයට එක්වූ ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා එම නිරීක්ෂණ චාරිකාවෙන් පසුව මාධ්‍යයට මෙලෙසින් අදහස් දක්වා තිබිණි.

“මෙම දුම්රිය ස්ථාන දිහා බැලුවාම පේනවා කොළඹ කොටුව, මරදාන වගේ දුම්රිය ස්ථානවලටත් වඩා මෙම දුම්රිය ස්ථාන විශාල බව. ඇතැමකුට මෙය නාස්තියක් ලෙස පෙනුණත් අවුරුදු 20ක් විතර දීර්ඝකාලීනව අනාගතයක් දිහා බැලුවාම ඒක එසේ නෙවෙයි කියලා ඒ අයට පෙනේවි. මේ ප්‍රදේශයේ ජනතාවට සිදුවූ හානි අවම කර ගැනීමටත් අතුරු මාර්ග සැකසීමටත් අපි කටයුතු කළා. තවමත් සංඥා සවිකිරීම වැනි කටයුතු සිදුකිරීමට අපිට නොහැකි වී තිබෙනවා. එම කටයුතුත් අවසන් කරලා ස්වාභාවික ආපදාවක් හෝ සුවිශේෂී අභියෝගයක් නොතිබුණොත් දෙසැම්බර් මාසය අවසන් වීමට පෙර මෙම මාර්ගයේ දුම්රිය ධාවනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම අපේ රජයේ බලාපොරොත්තුව මෙම දුම්රිය මාර්ගය තුළින් ජනතාවට වඩාත් සේවයක් ලබාදීලා ජාතික ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදීමයි. ඒ සඳහා කතරගම දක්වා මත්තල ගුවන් තොටුපොළ දක්වා හම්බන්තොට වරාය දක්වාත්, මේ මාර්ගය දීර්ඝ කළ යුතුයි. දැනට කෙරෙන ශක්‍යතා අධ්‍යයනයෙන් පසු එම මාර්ගයේද වැඩ කටයුතු අවසන් කිරීමෙන් මෙම මාර්ගය සම්පූර්ණ වී ජාතික ආර්ථිකයට ශක්තියක් ලබාදීමට පුළුවන් වේවි.”

හසිත් අංජන

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30