2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

මාලේ ජනතාවගේ නහඬ විප්ලවය

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 112

ජනතාව විසින් ජනතාව පාලනය කිරීම යන අදහස හොලිවුඩ් චිත්‍රපටයක් බඳු රසාලිප්ත සංකල්පයක් පමණි. ජනතාවට අවශ්‍ය තමන් පාලනය කරන තදබල ආයතනයකි. නායකයෙකි. ගෝත්‍රික සමාජ රටාව ඇටමිදුළුවලටම බැස ඇති ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය සඳහා මේ මූලධර්මය අනිවාර්ය වූවකි. එසේ නොවුණු කල වෙනසක් කරා යන්නට ගිය කල ඇතිවන ප්‍රතිඵල ඇදහිය නොහැකි තරම්ම භයානකය. ඉන්දියානු සාගරයේ සංචාරක පාරාදීසය වූ මාලදිවයින් දූපත් රාජ්‍යයේ කලකට පෙර සිදුවූ අලකලංචිය මෙයට හොඳම උදාහරණයකි.

ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලයට පත්වූ එහි පළමු ජනාධිපතිවරයාට සිය පාලනය සාමකාමීව ගෙනයාමට හැකිවූයේ වසර තුනකටත් අඩු කාලයකි. ඔහු දශක 3කට එහාගිය මයුම් අබ්දුල් ගයුම්ගේ ඒකාධිපති පාලනය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පෙරළා දැමූ මොහමඩ් නෂීඩ්ය. යන්තම් වසර 5ක් ගත වෙද්දී ඔහුට සිය ධූරයෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා අස්වන්නට කරුණු යෙදිණි. එයින් වසර තුනක් ඉක්මෙන්නටත් පෙර මුළු ලෝකයාටම දැකගත හැකිවූයේ රජයේ පොලීසිය මඟින් සිය හිටපු ජනාධිපතිවරයා බිම දමා උසාවියට ඇදගෙන යන භීෂණාත්මක දර්ශනයයි. සිය ප්‍රජාතන්ත්‍රවාදී කැමැත්තට එවන් බලහත්කාරකමක් සිදුවෙනු අත්දුටු මේ දූපත් රාජ්‍යයේ පන්ලක්ෂයකට ආසන්න හුදී ජනතාව නිහඬ විප්ලවයක් ඔස්සෙ ලෝකයටම ආදර්ශයක් සැපැයූවේ දූෂිත ඒකාධිපති නායකත්වය සියයට 90කටත් වැඩි මහජන ඡන්දයකින් පෙරළා දමමිනි. මාලදිවයිනේ පොදු විපක්ෂ අපේක්ෂකයා බලයට පත්වීම කලාපීය වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන්ද ඇති  කර ඇත්තේ දැඩි කම්පනයකි. එම රාජ්‍යයේ ජනතාව දූෂිතයා පිටුදකින අතර කලාපයේ බල අරගලයේ ජයග්‍රාහී නායකයා ලෙස ඉන්දියාවට කැපී පෙනීමේ අවස්ථාව ලබාදුන්නේය. ලෝක බලවතුන් ලෙස අමෙරිකාව ප්‍රමුඛ යුරෝපයේ ස්ථාවරය තහවුරු කර දුන්නේය. චීනයේ ව්‍යාප්තවාදය තාවකාලිකව හෝ උඩුයටිකුරු කර දැම්මේය.

මේ මැතිවරණ ප්‍රතිඵලය ලෝකයම පුදුමයට පත්කර දැම්මේය. මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් විපක්ෂයේ පොදු අපේක්ෂක ඊබ්‍රහිම් මොහොමඩ් සෝලී  ජයග්‍රහණය කරනු ඇතැයි අවසාන මොහොත දක්වා බොහෝ දෙනා විශ්වාස නොකළ බව එරට වෙසෙන ජනතාවම කියති. විශේෂයෙන්ම මැතිවරණය ජයග්‍රහණය කිරීම පිණිස හිටපු ඒකාධිපති ජනාධිපති අබ්දුල්ලා යාමීන් අවසාන මොහොත දක්වා ප්‍රබල උත්සාහයක නිරත වූ බව ද ඔවුහු පවසති.

ඔහු කට්ටියට ආණ්ඩුවේ රස්සා දුන් අතර චීන ආධාර යොදාගෙන, මාලේ - හුලුමාලේ අතර පාලම ඉදිකිරීම ඉක්මන් කළේය. මිනිස්සුට සල්ලි දී ඇති බවද වාර්තා විය. පොලීසිය මෙන්ම මැතිවරණ කොමිසමට අයත් නිලධාරීන් හැමදෙනාම ප්‍රසිද්ධියේ වැඩකළේ යාමීන්ටය. මැතිවරණය නිරීක්ෂණය කිරීමට පවා විරුද්ධ පක්ෂ නියෝජිතයන්ට අවසර නොලැබුණ අතර, ආණ්ඩුව විරුද්ධ පක්ෂයට සහ විරුද්ධ පක්ෂ ආධාරකරුවන්ට එරෙහිව දැඩි පීඩනයක් එල්ල කළ බව වාර්තා විය. චීනය සිය හිතවතා යාමීන්හට ජය ගැනීමට අවශ්‍ය සියලු ආධාර ලබාදුන්නේය. මේ අනුව මැතිවරණය ලේ හැලෙන විප්ලවයක් වනු ඇතැයි සැකය මතුවී තබුණි. නමුත් කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවකින් තොරව මාලේ මහ මැතිවරණය ඉතා සාමකාමීව අවසන්වීම විශේෂත්වයකි.

මාලදිවයිනේ විදේශ අමාත්‍යංශය ප්‍රකාශයට පත් කර ඇති පරිදි ඊබ්‍රහිම් මොහොමඩ් සෝලී ඡන්ද 134,616 ක් හිමි කරගෙන ඇති අතර, තවමත් බලයේ සිටින වත්මන් ජනපති අබ්දුල්ලා යාමීන්ට හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව 96,132 කි. ජනාධිපති අබ්දුල්ලා යාමීන් අබ්දුල් ගයියුම් සිය පරාජය පිළිගෙන ඇති අතර, සිය පරාජය පිළිගනිමින් ජාතිය ඇමතූ ඔහු, සිය ධුර කාලය අවසාන වනතුරු පදවියේ රැඳී සිටින බව සඳහන් කළේය. එසේම කාලය එළැඹි විට සාමකාමී බල හුවමාරුවක් සහතික කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

දැඩි මර්දනකාරී දූෂිත පාලනයක් ගෙන ගිය බවට එම ජනාධිපතිවරයාට දෙස්, විදෙස් චෝදනා එල්ල වී තිබුණි. ඔහුගේ පාලන සමය තුළ අබ්දුල් ගයියුම් සහ මොහමඩ් නෂීඩ් හිටපු ජනාධිපතිවරුන් ඇතුළු විරුද්ධ පක්ෂ නායකයන් විශාල පිරිසක් සිරගත කෙරැණු අතර, රටේ අග්‍ර විනිශ්චකාරවරයා ද බලයෙන් පහකොට බන්ධනාගාරගත කරන ලදී.

ජනාධිපති අබ්දුල් යාමීන්ට චීනය ආධාර කිරීම, මාධ්‍ය සහ විරුද්ධ පක්ෂ දඩයම් කිරීම සහ අධිකරණයට එල්ල වූ තර්ජන වැනි කරුණු මෙන්ම ඔහුට එරෙහිව බොහෝ විරැද්ධ පක්ෂ එකමුතුවීම වැනි කරුණු සලකා බැලීමේදී, යාමීන්ගේ පරාජය සහ ඊබ්‍රහිම් මොහොමඩ් සෝලීගේ ජයග්‍රහණය මෙන්ම, නිදහස් සාමකාමී සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම ගැන මාලදිවයිනේ ජනතාවට සහ ආණ්ඩුවට ලෝකය පුරා රට රාජ්‍ය සුභපතා තිබේ.

තේරී පත්වී සිටින ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලී, මාලදිවයිනේ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙකි. වසර ගණනක් පුරා මාලදිවයින තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීම වෙනුවෙන් හඬනැගූ පුද්ගලයෙකි. ඔහු මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ජමූරී පක්ෂය සහ අධාලාත් පක්ෂය ඇතුළු විපක්ෂයේ පොදු ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනපතිවරණයට ඉදිරිපත් විය. 2011 වසරේ සිට මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කළේද, ඊබ්‍රහිම් මොහොමඩ් සෝලීය.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00