2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

ISIS දෙවැනියා එල්ලුම් ගහට

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 169

ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයේ (ISIS) නියෝජ්‍ය නායකයා වන ඉස්මායිල් අල්වාන් සල්මන් අල්-ඉතාවී හට මරණ දඬුවම නියමවීය. ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා සම්බන්ධව ඉරාක අධිකරණයක් මගින් සිදුකළ නඩු විභාගයකින් අනතුරුව මෙලෙස ඔහු එල්ලා මැරීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ දක්වා මරණ දඬුවම නියම වූ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයේ ඉහළ පෙළේ නායකයා ලෙස මොහු හැඳින්විය හැකියි.

ඉස්මායිල් අල්වාන් IS නායක අබු බකර් අල්-බග්ඩාඩිගේ සමීපතයෙක් වූ අතරම එහි නියෝජ්‍ය නායකයා වශයෙන් කටයුතු කරනු ලැබූ තැනැත්තාය.

සිරියාවේ ගැටුම්වලදී IS සංවිධානය ලද පරාජයත් සමඟ එහි නියෝජ්‍ය නායකයා තුර්කියට පලාගොස් ඔහුගේ සහෝදරයාගේ නමින් එහි කලක් ජීවත් විය. නමුත් අමෙරිකාව, තුර්කිය සහ ඉරාකය විසින් සිදුකළ බුද්ධි මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබූ ඉස්ලාමිය අන්තවාදී නායකයෙක් සතුව තිබු දුරකතනයක් හරහා තුර්කියේ සැඟව සිටි ඉස්මායිල් අල්වාන් සල්මන් අල්-ඉතාවී අත්අඩංගුවට ගැනීමට තුර්කි ආරක්ෂක අංශවලට හැකියාව ලැබිණි.

පසුව IS සංවිධානයේ නියෝජ්‍ය නායකයා ඉරාකයට භාරදීමෙන් අනතුරුව ඔහුට එරෙහි නැගී තිබූ චෝදනා විශේෂ අධිකරණයක් හමුවේ නඩු විභාගයකට ලක්කිරීමෙන්  අනතුරැව මෙම මරණ දඬුවම නියම කළ බව එරට අධිකරණ අමාත්‍යවරයා සඳහන් කර තිබේ. කෙසේ වුවත් IS සංවිධානයේ නියෝජ්‍ය නායකයා අත්අඩංගුවට ගැනීමට සිදුකළ මෙහෙයුම අතරවාරයේදී 2014 වර්ෂයේදී ඉරාකයේ Deir Ezzor ප්‍රාන්තයේදී පුද්ගලයන් 700 දෙනෙක් සමූල ඝාතනය සිදුකළ බව කියන සදාම් අල්-ජමාල් ද ඇතුළු තවත් ප්‍රධාන පෙළේ ඉස්ලාමිය සංවිධානයේ නායකයින් සිවුදෙනෙක් අත්අඩංගුවට ගැනීමට ඉරාක ආරක්ෂක අංශවලට හැකියාව ලැබී ඇත.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00