2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

මැතිවරණ කටේ මාලේ ජනපතිට ජිල්මාල්!

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 76

ලබන ඉරිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් දෙවැනි වරටත් ධූරය සඳහා තේරීපත් වීමට ජනාධිපති අබ්දුල්ලා යමීන් සූදානම් වන අතර  මාලදිවයින් රජයේ දූෂණ සහ අක්‍රමිකතා රැසක් නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ. එයින් සෘජුවම චෝදනා එල්ල වී ඇත්තේ ජනාධිපති අබ්දුල්ලා යමීන්හටය.

එම වාර්තාවට අනුව සංචාරක කර්මාන්තයේ නිරත ආයතන සඳහා මහජන ටෙන්ඩර් කැඳවීමෙන් තොරව මාලදිවයින් දූපත් 50ක් බදුදීමට රජය අවස්ථා ගණනකදී පියවර ගෙන ඇත. මෙම අන්තනෝමතික බදුදීමේ ගිවිසුම් 50කින් 24ක්ම සිදුව ඇත්තේ මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ අනුමැතිය සහිතවය.

මාලදිවයින් විගණකාධිපතිවරයා පවසන්නේ, විශාල වට්ටම් සහිතව සිදු කෙරුණු මෙම බදුදීම් නීති විරෝධී බවය. ඉන් එක ගිවිසුමකට ජනාධිපතිවරයා සෘජුවම සම්බන්ධ වී ඇති බවද හෙළි කෙරිණි.

සිංගප්පූරුවේ ප්‍රකෝටිපති හෝටල් හිමිකරුවෙකු වන ඔන්ග් බෙන්ග් සෙන්ග් මාලදිවයින් දූපත්වල සිය හෝටල් ඉදිකිරීමට අවසර දීම වෙනුවෙන් මාලදිවයින් ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයාට අධිසුඛෝපභෝගී හෝටල් කාමර පිරිනැමූ බවද එම වාර්තාවේ සඳහන්ය. මාලදිවයින් ජනාධිපතිවරයාට එරෙහි දූෂණ චෝදනා එල්ල වූ ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර මීට පෙර අවස්ථාවකදී විවිධ පාර්ශවයන්ගෙන් ලද මුදල් භාරගත් බව ඔහුම පිළිගත්තේය.