2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

ජපානයට කොරේ පිටට මරේ - සුළි කුණාටුවක් අතර භූ කම්පනයක්

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 139


මාස තුනක කාලයක් තිස්සෙ ජපානය පිට පිට ආ ස්වභාවික විපත්වලින් බැටකමින් සිටියි. අලුත්ම විනාසය ගෙන ආවේ භූ කම්පනයක් මගිනි. කොරේ පිටට මරේ කියන්නාක් මෙන් ජෙබී නමැති දරුණුතම සුළි කුණාටුවක් අතර භූ කම්පනය හටගත්තේය.

උතුරුදිග ජපානයේ පිහිටි හොකයිඩෝ දිවයිනට බලපෑ ප්‍රබලතාව 6.7ක් ලෙස සටහන් වූ මෙම භූ කම්පනය හේතුවෙන් තාප විදුලි බලය නිපදවන ස්ථානයකට හානිවීමෙන් මිලියන තුනකට ආසන්න පිරිසකට විදුලි බලය අහිමි විය. පුද්ගලයන් 16 දෙනකු පමණ මියගොස් ඇති අතර, 40 දෙනකු අතුරුදහන් වී ඇති බව පත්‍රය මුද්‍රණයට යන මොහොත වන විට වාර්තා විය. නායයෑම් නිසා නිවාස විශාල ප්‍රමාණයකට හානි සිදුවිය. මුල් කම්පනයෙන් මිනිත්තු 20කට පසුව ප්‍රබලතාව 5.6ක්වූ පසුකම්පනයක්ද ඇතිවිය. පස්කඳු කඩාවැටීම් නිසා නිවාස බොහොමයකට හානි සිදුව තිබේ.

ආහාර ගබඩා කරගැනීම සඳහා බොහෝ පුද්ගලයන් වෙළෙඳසල්වල දිගු පෝලිම්වල සිටින බව දැක්වෙන සටහන් සමාජ මාධ්‍ය ජාලවල පළ කර තිබේ. තවත් භූ කම්පන ඇතිවිය හැකි යැයි ඔවුහු බියෙන් පසුවෙති. ජපානය පිහිටා ඇත්තේ භූ කම්පන බහුල කලාපයකය. එසේම මැග්නිටියුඩ් 6ට වඩා ප්‍රබලත්වයකින් ලොව සිදුවන භූ කම්පනවලින් 20%ක පමණ ප්‍රමාණයක් සිදුවන්නේ ජපානයේය.

පසුගිය ජූනි 18දා ජපානයේ ඔසාකා නගරය ආසන්නයේ ඇතිවූ බලවත් භූ කම්පනයකින් ද දැරියක් ඇතුළු තිදෙනකු මියගොස් 200කට අධික පිරිසක් තුවාල ලැබුවේය.

මේ වන විට ජපානය, එරට ඉතිහාසයේ විසිපස් වරකට පසු ඇතිවූ දරුණුතම සුළි කුණාටු තත්ත්වයට මුහුණ දී සිටියි. මේ වන විට එහි වේගය පැයට කිලෝමීටර 216 කි. බටහිර ජපානයට බලපෑ “ජෙබී” නමින් හැඳින්වුණු මෙම දරුණු කුණාටුවත් සමඟම භූ කම්පනය ඇති වී තිබේ. මිලියන 1.9ක ජනතාවකට ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙසට මේ වන විට දැනුම් දී තිබේ. කෝබේ නුවර වැසියන්ට ආරක්ෂිත ස්ථාන කරා යන්නැයි දැඩි අවවාද නිකුත් කර ඇත. කුණාටුවෙන් පුද්ගලයන් දස දෙනකු පමණ මියගිය අතර, විශාල දේපල හානි සිදුවිය.

1993 වසරේදී ජපානය මෙවැනිම දරුණු සුළි සුළඟකට මුහුණදුන් අතර එහිදී පුද්ගලයන් 48 දෙනෙක් ජීවිතක්ෂයට පත්වීම හෝ අතුරුදහන් වීම සිදුවිය. පසුගිය ජූලි මාසයේදී ද ජපානය දරුණු ස්වභාවික විපතකට මුහුණ දුන්නේය. උග්‍ර ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 200කට අධික විය.