2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

බටහිර හිරිවට්ටන රත්තන්ගේ යුද සරඹය

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 123

ලෝකයේ රතු බලය ලෙස තවමත් හැඳින්වෙන රුසියාව හා චීනය දෙරට එක්ව අමෙරිකාව ප්‍රමුඛ බටහිර ජාතීන් භීතියෙන් කුලප්පු කරනා  යෝධ යුද අභ්‍යාසයක් අරඹා තිබේ. මේ මස මුල් ඉරිදා ඇරඹූ නාවික සරඹ දැක්මකට සමගාමීව සැප්තැම්බර් 11දා රුසියාව හා චීනය එක්ව නැගෙනහිර රුසියාවේ අන්තර්-බයිකල් කලාපයේදී “වොස්ටොක් 18” හෙවත් “නැගෙනහිර-18”  නමැති මෙම බටහිර ජාතීන්ගේ ඇඟ හිරිවට්ටන මහා යුද අභ්‍යාසය පවත්වන්නට නියමිතය. වොස්ටොක්-18 ප්‍රමාණයෙන් සෝවියට් සංගමය දෙවැනි ලෝක යුද්ධයෙන් මොබ පවත්වා ඇති විශාලතම යුද අභ්‍යාසය වන 1981 වසරේ “සාපෑඩ්-81” ද ඉක්මවා යන්නකි.

මෙයට රුසියාව පැත්තෙන් සෙබළුන් ලක්ෂ තුනක් ද ගුවන් යානා 1000ක්ද යුද රථ 36000ක්ද යෙදවීමට නියමිතය. ඒ අතර චීනය පැත්තෙන් සෙබළුන් 3200ක්, ගුවන් යානා 30ක් හා යුද රථ 900ක් යොදවනු ඇත. මොන්ගෝලියානු හමුදා භටයින් ද ඊට සහභාගී වනු ඇත.

දශක ගණනාවකින් මෙපිට රුසියාවේ විශාලතම නාවික බලඇණි මේ මස පළමු වැනිදා  මධ්‍යධරණී මුහුදු කලාපයට යොදවනු ලැබුණි. එය දින අටක නාවික-ගුවන් අභ්‍යාසයකි. ඊට යුද නැව් 25ක් හා ප්‍රහාරක ගුවන් යානා 30ක් යොදාගනු ලැබුණී. මහාද්වීපික න්‍යෂ්ටික ප්‍රහාර සඳහා යොදාගත හැකි ටීයූ-160 මූලෝපායික බෝම්බ හෙලන යානා ද ඊට ඇතුළත් විය.

මෙයට සමගාමීව සැප්තැම්බර් 3දා, 32270ක නේටෝ හමුදා භට පිරිස් රුසියානු දේශසීමාවේ රුපිඩ් ට්‍රයිඩන්ට් 2018 නම් වූ යුද අභ්‍යාසය ඇරැඹූහ. මෙම 2018 ට්‍රයිඩන්ට් ජන්ක්චර් ලෙසින් හැඳින්වෙන යුද අභ්‍යාසය රුසියානු දේශසීමාවේ නෝර්වේ රාජ්‍යයෙහි ඔක්තෝබර් 25 සිට නොවැම්බර් 7 දක්වා පැවැත්වීමට නියමිත අභ්‍යාසයේ පූර්ව රංගනයක් පමණි. එයට නේටෝ සෙබළුන් 40000ක්, ප්‍රහාරක ගුවන් යානා 130ක් හා යුද නැව් 70ක් යොදා ගැනේ. එහි  කැපීපෙනෙන සිද්ධිය වන්නෙ සෙබළුන් 8000ක්, යුද ටැංකි 100ක් හා සන්නද්ධ රථ 2000ක් යොදවන, පෙර නොවූ විරූ ජර්මානු සහභාගිත්වයයි.

මෙය සීතල යුද්ධයේ අවසානයෙන් මෙපිට යුරෝපය තුළ පැවැත්වෙන බටහිර ජාතීන් සහ රත්තන්  අතර විශාලතම යුද අභ්‍යාස රගදැක්මයි. කීර්තිය සඳහා වන පාරම් බෑමයි.  ලෝකයේ බිලියන සංඛ්‍යාත මිනිසුන් හා පෘථිවි තලයම විනාශ කරන “ලෝකය මෙතෙක් දැක නැති ගින්දර හා කෝපය” මුදාහරින බවට ට්‍රම්ප් කලින් තර්ජනය එල්ල කරමින් අනතුරු අඟවා සිටි මහා විනාශයේ පූර්ව රංගනය ලෙස මෙය හඳුන්වා දිය හැකිය.  තමන් ගෙන යන්නේ “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක්ය” යන ව්‍යාජ රංගනය අතහැර, සිය ස්ථීරසාර යුද ඉලක්කයන් ලෙස චීනය හා රුසියාව නම් කරමින්, ට්‍රම්ප් නව ජාතික ආරක්ෂක මූලෝපායක් ප්‍රකාශයට පත් කළ ජනවාරියේ සිට මේ වන විට රුසියාවට හා චීනයට එරෙහි වොෂින්ටනයේ තර්ජන දැන් වඩාත් කැපීපෙනෙන වේදිකාවකට පැමිණ  තිබේ. මෙලෙස සෙසු ලෝකයට අනතුරුදායක ලෙස ඇමරිකානු මිලිටරි කටයුතු වැඩිදියුණු වෙමින් තිබියදී එරට ජාතික ආරක්ෂක මූලෝපායට ප්‍රතිචාර වශයෙන් සිය අභ්‍යාස පැවැත්වෙන බව මොස්කව් හා බීජිනය මෙවර කෙලින්ම කියා තිබේ. මෙම යුද බලය පෙන්වන පාරම්බෑමට රුසියාවේ ක්‍රියාශීලී මිලිටරි සේවයේ යෙදී සිටින්නන්ගෙන් සියයට 30ක් සම්බන්ධ වන අතර රුසියාවේ ආරක්ෂක වියදම් දැඩි පීඩනයකට හසුව තිබෙන තත්ත්වයකදී සිදුවේ. මෙයින් පැහැදිලි වන්නේ, ඉදිරියේදි ලෝකයේ සෙසු  ජනතාව පීඩාවට ලක්කරන මහා පරිමාණයේ යුද්ධයක් සඳහා වේදිකාව සැකැසෙමින් ඇති බවය.