2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

අමෙරිකා - චීන සීතල යුද්ධය උණුසුම් වෙයි

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 282

ඇමරිකානු හිතවාදී රටවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා චීනය යුද පුහුණු කටයුතුවල නිරත වන බවට ඇමරිකාව විසින්  පසුගියදා  සිදුකළ  ප්‍රකාශ චීනය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. අමෙරිකාව දැන් චීනය එල්ලකරගනිමින් නව ආර්ථික යුද්ධයක් අරඹා ඇත. පසුගිය ජුලි මස සිට රටවල් දෙක එකිනෙකා වෙත තරගයට මෙන් බදු පනවා ගැනීම ඇරඹූහ. සියයට 25ක් චීන බඩු සඳහා අමෙරිකාව බදු වැඩිකළේ ජූලියේදීය. චීනයද එකට එක කළේය. එහි නවතම බදුවටය බ්‍රහස්පතින්දා ඇරඹුණේ චීනයෙන් ගෙන්වන යකඩ යන්ත්‍ර උපකරණ මෝටර් රථ ආදියට අමතර බදු එක් කරන්නට අමෙරිකාව කටයුතු කළේය. චීනයද තමන් එකට එක කරන්නට සුදානම් බව කීය. 

මේ අතර ඇමරිකානු ආරක්ෂක කේන්ද්‍රස්ථානය වන පෙන්ටගනය සිය වාර්ෂික වාර්තාව ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය වෙත ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර සිටියේ චීන බෝම්බ ප්‍රහාරක යානා ඇමරිකාවට සහ පැසිෆික් කලාපයේ ඇමරිකානු මිත්‍ර පාක්ෂික රටවල හඳුනාගත් ඉලක්කයන්ට ප්‍රහාර එල්ල කිරීමේ පුහුණු කටයුතුවල නිරතවන බවයි.

ඩොලර් බිලියන 190 ක ඇස්තමේන්තුගත ආරක්ෂක වියදම්ද ඇතුළුව චීනය තමන්ගේ යුද හැකියාව වර්ධනය කරගනිමින් සිටින බව වාර්තාවෙන් ඉස්මතු කර දක්වයි. ගුවන් ප්‍රහාර පිළිබඳ මෙම අනතුරු ඇඟවීම, චීනයේ යුද සහ ආර්ථික අභිලාශ පිළිබඳ කළ පුළුල් විග්‍රහයක කොටසක් පමණි. පසුගිය වසර තුන පුරා, චීන හමුදාව සාගරයට ඉහළින් ගොස් බෝම්බ දැමීමේ හැකියාව වේගයෙන් වර්ධනය කළ බවත්, මහජන විමුක්ති හමුදාව සමහර විට ගුවාම් දුපත ඇතුළු බටහිර පැසිෆික් සාගරයේ ඇති ඇමෙරිකානු සහ මිත්‍ර පාක්ෂික හමුදා සහ හමුදා කඳවුරුවලට පහරදීමට ඇති හැකියාව පෙන්වීමට ඉඩක් පවතින බවත් එම වාර්තාව පෙන්වා දේ. මීළඟ වසර 10 තුළ චීන යුද වියදම ඩොලර් බිලියන 240 දක්වා වැඩිකිරීමට අපේක්ෂා කරන බවද එයින් කියැවේ. එසේම අභ්‍යවකාශය හමුදාකරණය සඳහා වැඩිදියුණු කරමින් පවතින චීනයේ අභ්‍යවකාශ වැඩපිළිවෙල ගැනද වාර්තාවේ සඳහන් වේ.

මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් චීන විදෙස් කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර සිටියේ ඇමරිකානු පෙන්ටගනය විසින් සිදුකළ ප්‍රකාශය වගකීමකින් තොර ප්‍රලාපයක් බවයි. එසේම පූර්ව නිගමනයන් මත සිදුකර ඇති එම ප්‍රකාශය මගින් සැබෑ තත්වය මුළුමනින්ම විකෘති කර ඇති බවත් චීන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. චීනය තමන් විසින් සිදුකරන යුධ අභ්‍යාස හුදෙක් සිය රටේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් සිදුකරන්නක් බව ඔවුහු අවධාරණය කරති.