2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

උගන්ඩාවේ කුමන්ත්‍රණයක්!

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 159

උගන්ඩාවේ ජනකාන්ත නායකයකු ලෙස කැපී පෙනෙන පොප් ගායක බොබි වයින් කුමන්ත්‍රණ චෝදනා මත සිර ගතකර ඇත. ඔහුගේ නියම නම රොබර්ට් කියගුලානි වුවද ජනතාව අතර ප්‍රසිද්ධව ඇත්තේ ඔහු වේදිකාවට යොදාගත් නම අනුව බොබි වයින් ලෙසටය.

බොබි අගෝස්තු 14 සිට හමුදා අත්අඩංගුවට පත්ව සිටියේ ආයුධ ළඟ තබා ගැනීමේ චෝදනා මතය. උතුරේ පැවති අතුරු මැතිවරණ රැස්වීමකට ආ ජනාධිපති මුසෙවිනි රැගත් රථ පෙළකට ගල් මුල් වලින් පහරදුන් කණ්ඩායමක් මෙහෙයවීම සැබෑ චෝදනාවයි. නමුත් හමුදා අධිකරණය බ්‍රහස්පතින්දා ඔහු නිදොස්කොට නිදහස් කළේය. හිතවාදීන් ඒ ලැබූ නිදහස සමරා බාල් නටද්දී කුමන්ත්‍රණ චෝදනා මත පොලීසිය ඔහු අත්අඩංගුවට ගත්තේය. මෙවර සිවිල් අධිකරණයක් මගින් පැවැත්වූ ඉක්මන් නඩු විභාගයකින් පසු ඔහු අගෝස්තු 30 තෙක් සිර රැඳවුමට නියෝග ලැබුණි. ඔහු රඳවා ඇත්තේ අගනුවර සිට කිලෝමීටර 330 ක් ඈත උතුරුකරයේ ගුලූ නගරයේය. ඔහුත් සමග කුමන්ත්‍රණ චෝදනා මත තවත් විපක්ෂ මන්ත්‍රිවරු හතර දෙනෙක්ද රඳවා තිබේ. මෙයින් එක් අයෙකු රෝහල්ගත කර තිබේ. බොබීහටද පහරදී ඇති අතර ඔහු අපහසුවෙන් පසුවන අයුරු පෙනුන බව වාර්තාවේ.