2018 අගෝස්තු 24 වන සිකුරාදා

සාම කතා මැද ඇෆ්නඝයේ ත්‍රස්ත ප්‍රහාර

 2018 අගෝස්තු 24 වන සිකුරාදා, ප.ව. 08:03 51

ඇෆ්ගනිස්ථාන ජනපති මන්දිරය ඉලක්ක කර එල්ල කෙරුණු ත්‍රස්ත මිසයිල ප්‍රහාරයකින් එරට ජනාධිපති මොහොමඩ් අෂ්රෆ් ඝානි දිවි ගලවාගැනීමට සමත්විය. මිසයිල ප්‍රහාර එල්ල වී ඇත්තේ ඇෆ්ඝන් ජනපතිවරයා එම මන්දිරය තුළ සිට හජ් සුබපැතුම් කතාව සිදු කරමින් සිටියදීයි. මෙලෙස ඇෆ්ගනිස්ථාන ජනපති මන්දිරය ඉලක්ක කර රොකට් ප්‍රහාර එල්ල වූයේ හජ් සැමරුම නිමිති කරගනිමින් එරට ජනපති අෂ්රෆ් ඝානි ඉන් දින දෙකකට පෙර තලේබාන් සටන්කාමීන් හට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර ඇති පසුබිමකය.

ත්‍රස්තවාදීන් මෙලෙස ජනපති මන්දිරය දෙසට ප්‍රහාර එල්ල කර ඇත්තේ කාබුල් ආසන්නයේ පිහිටි එද්ගා දේවස්ථාන ප්‍රදේශයේ සිටය. සැණින් ක්‍රියාත්මක වූ හමුදාවට  ප්‍රහාරයට සම්බන්ධ වූ සියලු ත්‍රස්තවාදීන් ඝාතනය කිරීමට හැකිවී ඇති අතර ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් සිව් දෙනකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අතර උතුරු ඇෆ්ගනිස්ථානයේ කුන්ඩුස් ප්‍රදේශයේදී තලෙයිබාන් සන්නද්ධ කණ්ඩායම් විසින් මගීන් 150ක් පමණ රැගත් මගී බස්රථ තුනක් සිය භාරයට ගෙන ඇතැයි වාර්තා විය.

තලෙයිබාන් ත්‍රස්ත කණ්ඩායම් විසින් සැඟව කළ ප්‍රහාරයකින් අනතුරුව මෙම මගීන් සහිත බස්රථ සිය ග්‍රහණයට ගෙන ඇති අතර ආරක්ෂක හමුදා බස්රථවල ගමන්ගත් සිවිල් ජනයා මුදා ගැනීමට කටයුතු කරමින් සිටිති. ඇෆ්ගනිස්ථානය විසින් සටන් විරාමයක් ප්‍රකාශකර දිනක් ගතවන්නටත් පෙර මෙම ත්‍රස්ත ප්‍රහාර සිදුව ඇත. ඒ අනුව ත්‍රස්තයන් සාම ප්‍රයත්නය අභියෝගයකට ලක්කර තිබේ.