2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

හිරුගේ රහස් අල්ලන්න ගිය අලුත්ම යානය

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 215

සූර්යයා ආසන්නයටම ගොස් එහි සැඟවුණු රහස් සෙවීමට ඇමරිකානු නාසා ආයතනයේ පාකර් හිරු ගවේෂණ යානය පසුගිය අගෝස්තු 12 සෙනසුරාදා නික්ම ගියේය. පාකර් නමැති මෙම යානය මෝටර් රථයක ප්‍රමාණයෙන් යුක්ත වන අතර එය  සූර්යයා වෙත යොමු කිරීම සඳහා මෙතෙක් ලොව නිර්මාණය කළ ප්‍රබලම රොකට්ටුවක් වන ඩෙල්ටා - 4 යොදාගෙන තිබුණි. ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කැනවරල් තුඩුවෙන් ගමන් ඇරඹි මෙම සූර්ය යානය හිරු ගැන මිනිසා නොදන්නා අබිරහස් ගණනාවක් විසඳීමට අවශ්‍ය දත්ත පෘථිවිය වෙත එවීමට නියමිතය.

එය නම් කර තිබෙන්නේ තාරකා භෞතික විද්‍යාඥ ඉයුජින් පාකර් සිහිවීමට ඔහු නමිනි. 91 හැවිරිදි ඉයුජින් පාකර් 1958 වසරේදී “සූර්ය සුළං” නමැති සංසිද්ධිය විස්තර කිරීමට සමත් වූ ලෝකයේ ප්‍රථමයා බවට පත්විය. ‘සුපර්සොනික් සූර්ය සුළං’ සහ සර්පිලාකාර හැඩයක් ගන්නා සූර්ය චුම්භක ක්ෂේත්‍රය මුලින්ම අනාවරණය කර ගත්තේ ඔහු විසිනි. ඒ අනුව දැනට ජීවතුන් අතර සිටිනා පුද්ගලයෙකුගේ නමින් නම් කළ ලෝකයේ පළමු අභ්‍යවකාශ යානය වන්නේද පාකර් සූර්ය යානයයි.

එසේම ඉතිහාසයේ මිනිසා විසින් සෑදූ හිරු අසලට ගොස් වේගයෙන්ම චලනය වන වස්තුව වන්නේද පාකර් සූර්ය යානයයි. මෙහි වේගය පැයට කිලෝමීටර 690,000  (430,000 පැයට සැතපුම්)කි. මෙය හරියට,

නිව් යෝක් නුවර සිට ටෝකියෝ නුවර බලා විනාඩියකින් ගමන් කිරීමට අවශ්‍ය වේගයයි.

“කොරෝනා” හෙවත් සූර්ය රැස් වළල්ල යනුවෙන් හඳුන්වන සූර්යයාගේ බාහිරතම වායුගෝලය වෙත මෙය කෙළින්ම ඇදී යාමට නියමිතය. ඒ අනුව සති 6 ක කාලයකින් එය සෙනසුරුගේ රැස් වළල්ල පසු කරනු ඇත. තවත් සති 6 කින් එය හිරු වෙත ළඟා වනු ඇත. එනම් මාස 3 ක කාලකින් පසු මෙම චන්ද්‍රිකාව හිරු වෙත සමීප වීමට නියමිතය.

ඉන්පසු පුරා වසර 7 ක් පාකර් සූර්යයා වටා රවුම් 24 ක් ගසනු ඇත. එහිදී සූර්ය රැස් වළල්ලේ භෞතික ස්වභාවය අධ්‍යයනය කරනු ඇත. මිනිසා ජීවත් වන පෘථිවිය ඇතුළු සෞරග්‍රහ මණ්ඩලය භ්‍රමණය වන්නේ සූර්යයා වටාය. එසේම පෘථිවිය ඇතුළු ග්‍රහවස්තු කෙරෙහි වැඩිම බලපෑමක් ඇතිකරන තාරුකාව වන්නේ ද සූර්යයාය.

එහිදී හිරුගේ තුනී වායුගෝලය තුළට පිවිසෙන සූර්ය යානය, එහි නියැදි පරීක්ෂා කරනු ඇත. මෙහිදී මෙම යානය ගමන් කරනු ඇත්තේ හිරුගේ සෙල්සියස් අංශක 6000 ක් වන මතුපිට සිට සැතපුම් මිලියන 3.83 ක් හෙවත් කිලෝමීටර මිලියන 6.16 ක් ඈතිනි. මෙය විශාල දුරක් ලෙස ඔබට පෙනී යා හැකි වුවත්, කාටත් තේරෙන ආකාරයට එය පැහැදිලි කළ හැක්කේ මෙසේය. හිරු සහ පෘථිවිය අතර දුර මීටරයක් යැයි සිතන්න. එවිට පාකර් සූර්ය යානය කැරකෙනු ඇත්තේ හිරුගේ සිට සෙන්ටිමීටර 4ක් නුදුරෙනි! ඒ අනුව ඉතිහාසයේ පළමුවරට මිනිසා සූර්යයාව ස්පර්ශ කරන තරම් මෙතරම් ආසන්නයට යන්නේ මෙවරය.  

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00