2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

සියවසේ මහා වැස්සෙන් කේරළය යටවෙයි!

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 113

ශතවර්ෂයකට ආසන්න කාලයකට පසු ඉන්දීය කේරල ප්‍රාන්තයට බලපෑ දරුණුම මෝසම් වැස්ස මහා පීඩාවක් ගෙන දෙමින් පවතී. අධික වර්ෂාවෙන් හටගත් මහා ගංවතුර  ආපදා තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වනවිට 167ක් දක්වා ඉහළ ගොස් තිබුණී. කොචි ගුවන් තොටුපළද මේ මස 26දා තෙක් වසා දමන්නට යෙදිණි. දකුණු දුම්රිය සේවයද කොචි  මෙට්රෝ සේවාවද නවතා තිබේ. 

ගංවතුර ආපදා තත්ත්වය හමුවේ ප්‍රාන්තයට රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය පයිනරායි විජයන් පියවර ගත්තේය. ඔහු පැවසුවේ ඉතිහාසයේ ප්‍රථමවරට ප්‍රාන්තයේ පිහිටි ජලාශ 39 න් 35 කම වාන් දොරටු මේ වනවිට විවෘත කර ඇති බවය.

ගංවතුර හමුවේ ප්‍රාන්තයේ පාසල් රැසකට අද නිවාඩු ලබා දී ඇති අතර විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල පැවැත්වීමට නියමිතව තිබූ විභාගද මාසය අගතෙක් කල් දමා තිබේ. ගංවතුර හමුවේ පුද්ගලයන් 60,000 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති අතර සංචාරකයන් අතර ප්‍රචලිත ඉඩුක්කි දිස්ත්‍රික්කයේ මුන්නාර් නැමති ප්‍රදේශයට යාමෙන් වළකින ලෙස ප්‍රාන්ත රජය සංචාරකයන්ගෙන් ඉල්ලා සිටී.

ගංවතුර සහ නායයාම් හමුවේ ප්‍රාන්තයේ මහාමාර්ග සහ නිවාස සිය ගණනක් විනාශ වී ඇත. ගංවතුරෙන් ප්‍රාන්තයේ අස්වැන්නට සිදුව ඇති පාඩුව ඉන්දීය රුපියල් කෝටි 8000 කට අධිකය.