2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

තුන්වරක් ඉන්දීය අගමැති පුටුවට ආ පත්තරකාරයා

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 57

ජනකාන්ත ප්‍රතිරූපයක් ගොඩනඟා ගනිමින් බලයට පත්වූ ඉන්දීය පොදු ජනනායක  අතාල් බිහාරි වජ්පායි 93 වෙනි වියේදී අවසන් ගමන් ගියේ භාරතයේ එක් පෙරළිකාර යුගයක් නිමා කරමිනි. රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ඔහු සිය රටේ මෙන්ම ජාත්‍යන්තර තලයේද එක් බඳුව බුහුමන් ලැබූවෙකි. ඔහු මෑත යුගයේ රටේ ජනතාවගේ වැඩිම  ආදරය දිනාගත් තැනැත්තාය.

උපන්ගෙයි දේශපාලන චරිතයක් වූ වජ්පායි හොඳ උගතෙකි. පළමු පන්තියේ පශ්චාද් උපාධියක් දේශපාලන විද්‍යාවට හිමිකරගත් අයෙකි. ඔහු මුලින්ම කොමියුනිස්ට්කාරයෙකි. ඒ රාෂ්ඨීය ස්වයං සේවක සංගමයට එක්වන්නට පෙරය. 1939 දී සංගමයට  බැඳුනු ඔහු  1947දී එහි පූර්ණකාලීන ප්‍රචාරකයකු ලෙස කටයුතු අරඹා වත්මන් අගමැති මෝදි මෙන්ම රටපුරා ජනතා දිනාගන්නට කටයුතු කළ අයෙකි. 1942දී තමන්ගෙ සහෝදරයා සමඟ දින 23කට හිරේ වැටුණේ බ්‍රිතාන්‍ය විරෝධී වැඩ නිසාය. 1957දී උත්තර් ප්‍රදේශ් බාල්රාම්පූර් ඡන්දය දිනා මැතිසබයට ආවේය. දක්ෂ කතාකාරයෙක් වන ඔහුගේ මුල්ම  පාර්ලිමේන්තු කතාව අසා සිටි නේරු ප්‍රසිද්ධ අනාවැකියක් කීවේය. ඒ මෙම තරුණ කථිකයා යම් දිනෙක නිසැකවම රටේ අගමැති වන බවටය. වජ්පායි එය සනාථ කළේ තුන්වරක්ම අගමැති ධූරයට පත්වෙමිනි. 1966දී දින 13 කාලයකට අගමැති ධූරය හෙබැවිය. 1998දී මාස 13කට අගමැති විය. තෙවැනි වතාවට 1999දි අවුරැදු 5කට ධූරයට පත්විය.

ඔහු මුල්වතාවට හින්දි බසින් එක්සත් ජාතීන් අමතා රට ජාත්‍යන්තර බුහුමනට පත් කළේය. එසේම ඔපරේෂන් ශක්ති මෙහෙයුම යටතේ ඉන්දියාව න්‍යෂ්ඨික බලවතකු මට්ටමට ඉහළ නැංවීය. පාකිස්තානය සමඟ සබඳතා ශක්තිමත් කරන්නට 1999දී බසයක නැගී ලාහෝරය වෙත සාම යාත්‍රාවක යෙදුණි. මුළු රටේම ආදරයට පාත්‍ර වූ ඔහු ඉන්දියාවේ වෙනස් ප්‍රාන්ත 4ක් නියෝජනය කරමින් බලයට ආ එකම ජන නියෝජිතයාය.

බ්‍රාහ්මණ වංශීකයකු වුවද ඔහු මස් මාංශ ලැදියෙකි. දිල්ලියේ කරීම් හෝටලය ප්‍රියතම කෑම කඩයයි. එතැන ආසම කෑම ඉස්සන්ය. වැඩම කාලයක් එනම් වසර 47ක් මහජන නියෝජිතයකු ලෙස කටයුතු කළ වජ්පායිහට 2014දී ඉන්දීය රජය ඉහළම සම්මානය වන භාරත්භූෂණ මගින් ගෞරව  පිදුවේය. ඔහු අපුරු හින්දි කවියෙකි. වජ්පායි පුංචිකාලේ සිට ආසා කළේ පත්තරකාරයෙක් වෙන්නටය. ඔහුගේ මේ සිහිනය සැබෑ වූයේ උත්තර් ප්‍රදේශ්හි දීන්දායල් උපාධ්‍ය පත්තර කන්තෝරුවේ වැඩට යාමත් සමඟිනි.

වජ්පායි 2000දී සිට ශාරීරික දුබලතාවන්ට මුහුණ පෑවේය. 2001දී දණිස්සක් බද්ධ කිරීමට ලක්විය. 2009දී ආඝාතයට ලක්වූ අතර කතාව ඇණ හිටියේය. ඉන්පසු නිවසටම සින්න වූ ජීවිතයක් ගත කළේය. පසුගිය ජූනි මස අසාධ්‍ය බවට පත්ව රෝහල්ගත කැරිණි. පසුගිය 16 වැනිදා බ්‍රහස්පතින්දා ඔහු මෙලොව හැර ගියේය. භාරතීය ජනතා පක්ෂයේ බල කණුවක් ඇද වැටුණේය. 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00