2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

ප්‍රභාකරන්ට සමාව දෙන්න බෑ කියූ කරුණානිධි

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 111

ලංකාවේ දමිළ ප්‍රශ්නය සම්බන්ධයෙන්ද තීරණාත්මක චරිතයක් වශයෙන් සැලකුණු තමිල්නාඩු දේශපාලනයේ ඉතිරිව සිටි පතාක යෝධයා වන මුතුවේල් කරුණානිධි අවසන් ගමන් ගියේ 94 වියේදීය. ඔහුගේ වියෝවත් සමග දකුණු ඉන්දීය චිත්‍රපට කර්මාන්තයේත් දේශපාලනයේත් එක්තරා වර්ණවත් යුගයක් නිමාවූයේය. අවසන් මොහොත වනතුරු අරගලකාරී විචිත්‍ර චරිතයක් ලෙස කැපී පෙනුණ දමිළ ජන නායකයෙක් වන කරුණානිධි, ඔහුගේ සමකාලීන විරුද්ධකරුවන් වූ එම්.ජී. රාමචන්ද්‍රන් සහ ජයලලිතා ජයරාම් වැනි චරිත අතරද ප්‍රබලව කැපී පෙනුණු චරිතයකි. සමස්ථ  තමිල්නාඩු ජනතාවම ඔහුගේ වියෝව වෙනුවෙන් වැළපුණහ. කරුණානිධිගේ අභාවය හමුවේ ශෝකයට පත්ව විශාල වශයෙන් වීථි බැස සිටි ඔහුගේ ආධාරකරුවන් හේතුවෙන් නොසන්සුන් තත්ත්වයක් හටගනු ඇතැයි බිය පළකළ පොලිසිය චෙන්නායි නුවර ආරක්ෂාව තරකර තිබුණි.

1924 ජූනි 03 තමිල්නාඩුවේ තිරුවාරුර් දිස්ත්‍රික්කයේ තිරුකුවලයි ගම්මානයේ සාමාන්‍ය පවුලක උපත ලබන දක්ෂිණමූර්ති දරුවා පසුකාලීනව දැඩි හින්දු බ්‍රාහ්මණ විරෝධය  නිසාම වඩාත් දමිළ ඌරුවක් ගත් කරුණානිධි ලෙස සිය නම වෙනස් කරගත්තේය. පසුව දකුණු ඉන්දියාවේත් ලෝකය පුරාත් රැව්දෙන නාමයක් බවට එය පත්විය. එයට හේතු වූයේ ළාබාල වියේ සිට දේශපාලනයට නතු වූ දමිළ ජාතිකවාදි චින්තනයයි.

1938 දී යාන්තම් වයස 14ක්ව තිබියදී දමිළ ජාතික සාධාරණය සඳහා පක්ෂයේ නායකයන්ගෙන් ආභාෂය ලබමින් ඉතා තරුණ වියේදීම දේශපාලනයට එක්වී 1941 වනවිට තමිල්නාඩුවේ දෙමළ ශිෂ්‍ය සමාජය නමින් ශිෂ්‍ය කණ්ඩායමක් ආරම්භ කිරීමටද ඔහු සමත් විය. ගම් මට්ටමෙන් දේශපාලනය අරඹා 1957 දී පළමු වරට තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත්වන කරුණානිධි එතැන්සිට නොනවතින විජයග්‍රාහී ගමනක යෙදෙයි. ඉන්දීය ව්‍යවස්ථාවේ පිටපතක් ගිනි තැබීමේ වරදට 1963 දී හයමසක සිරදඬුවමකට ලක්වෙන ඔහු, 1967 දී DMK පක්ෂය ප්‍රාන්තයේ බලයට පත්වීමත් සමග ප්‍රාන්තයේ ඇමති පදවියකට පත්වෙයි. 1969 පෙබරවාරි 10 පක්ෂයේ නායක සී එන්. අන්නාදුරෙයිගේ අභාවයෙන් පසුව ප්‍රාන්තයේ මහ ඇමති පදවියට පත්ව 1969 ජූලි වනවිට DMK පක්ෂයේ නායකත්වයට පත්වන්නේ අඛණ්ඩව පණස් වසරක් එම තනතුර හෙබැවීමේ වාසනා ගුණය අත දරාය.

එතැන් සිට 1969 සහ 2011 අතර කාලයේදී පස්වරක් තමිල්නාඩු මහ ඇමතිවරයා වූ කරුණානිධි, ඉන්දීය මධ්‍ය දේශපාලනයේ නායකත්වය තීන්දු කිරීමට තරම් ප්‍රබල වූ රජුන් තනන්නන් අතර  කැපී පෙනුන ප්‍රධාන චරිතයක් විය. තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණ 13ක් සඳහා ඉදිරිපත්ව ඇති ඔහු ඒ සැමෙකින්ම ජයගත්තේය. රෝහල් ගත වන්නට පෙර දින 27දා ඔහු සිය පක්ෂයේ නායකත්වයට පත්වී පනස් වසර සැපිරුවේය. නිසි පාසල් අධ්‍යාපනයක් නොලැබුවද පසුකාලයේදී ඔහු දෙමළ සිනමාව තුළ සාර්ථක තිරපිටපත් රචකයෙකු විය. තමිල්නාඩු දේශ පාලනයේ තීරණාත්මක චරිත මෙන්ම පසුකාලීනව ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන්ද තමන්ගෙ ජනකාන්ත බව දිනාගත්තේ ඔහුගෙ තිර රචනා අනුව රංගනයට එක්වෙමිනි. සිවාජි ගනේෂන් කලඑළි බැස්සේ දෙමළ සිනමාව උඩු යටිකුරු කළ වෙඩි වගේ සැර දෙබස් ඛණ්ඩ ඇතුළත් කරැණානිධිගේ රචනයක් වන  පරසක්ති චිත්‍රපටයෙනි. මේ චිත්‍රපටය තහනමට ලක්කිරීමේ තර්ජන මතු වූ අතර එහි හින්දු අගැයීම් ගැරැහීමේ ස්වභාවය නිසා දැඩි විවෙචනයටද ලක්විය. ඔහුගේ ප්‍රබලතම දේශපාලන විරුද්ධවාදියා එම්.ජී. රාමචන්ද්‍රන් ජනතාව අතර නොමැකෙන නමක් හදා ගන්නේද කරුණානිධි රචනා කළ පෙරළිකාර චිත්‍රපටයක් වු මන්ත්‍රි කුමාරී චිත්‍රපටය තුළිනි. එම්.ජී.ආර් සහ තමන්ගෙ හැලහැප්පිලිකාර සබඳතාව අලලා කරුණානිධි මානිරත්නම් හට ඉරුවාර් කතාව ලියා දුන්නේය. 1997 තිරගත වූ මෙහි මෝහන් ලාල් ප්‍රකාශ් රාජ් අයිෂ්චර්යා තාබු ඇතුළු පිරිසක් රඟපෑහ.

ඔහුගේ මුල්ම තිර රචනය 1947දී තිරගත වූ රාජ්කුමාරී කතාවයි. දෛවෝපගත ලෙස එය එම්.ජි.ආර්.ගේ මුල්ම චිත්‍රපටයයි. අවසන් කාලේද කරුණානිධි තිර රචනයක් කළේය. 2011 වසරේ ප්‍රශාන්ත් රඟ පෑ මෙය පොන්නායි ෂන්කර්ය. ඔහු නාට්‍ය ගණනාවක් මෙන්ම පොත් රැසක්ද ලියා ඇති අතර ඒ සියල්ල ජනප්‍රිය බවට පත්වූ දැඩි විවේචනයට ලක්වූ පෙරළිකාර නිර්මාණයන්ය. මේ නිසා ඔහු විචිත්‍ර කලාකාරයෙකි.

කරුණානිධි තෙවරක් විවාහ වූවෙකි. දෙවැනි විවාහයේ බිරිය එම්.කේ. දයාලු ගේ පුතුන් වන අලගිරි සහ ස්ටාලින් දෙනාම ඔහු දේශපාලනයට ගෙන ආවේය. ස්ටාලින් ඔහුගෙන් පසු පක්ෂනායකයාය. තෙවෙනි බිරිය රාජතිගේ දියණීය කනමෝෂීද රාජ්‍ය සභා සාමාජිකාවකි.  වසර  හතරකින්  පළමු බිරිය මියයාමෙන් අවසන් වූ මුල් විවාහය 1944 සැප්තැම්බර් මස සිදුවිය. පද්මාවතී නම් වූ එම මුල් බිරියගෙන් ලද පුතා එම්.කේ. මුතු නම් වෙයි.

ඔහුගේ වියෝව සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩ ගණනාවක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා තිබුණේ කරුණානිධි යනු ජන හද තුළ විහිද ගිය ගැඹුරැ මුල් සහිත ජන නායකයෙක්, විපුල කථිකයෙක්, දක්ෂ රචකයෙක් සහ දුප්පතුන්ගේ සුබසාධනය වෙනුවෙන් කැප වූ ශක්තිවන්තයෙක් බවය. අගමැති මෝදි, චෙන්නායි නුවර වෙත ගොස් කරුණානිධි වෙත අවසන් ගෞරවය දැක්වීය.

කරුණානිධි රෝගාතුරව සිටින බව අසා ඔහුගේ සුවදුක් බැලීමට ගිය පිරිස අතර ඉන්දීය ජනපති රාම්නාත් කෝවින්ද්, උප ජනාධිපති වෙන්කයියා නායිදු ඇතුළු දේශපාලන පක්ෂ නායකයෝ රුසක්ම වූහ. කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි මෙන්ම මෑතකදී නළු කමෙන් දේශපාලනයට බැස්ස කමල් හාසන් සහ රජිනිකාන්ත්ද ඒ අතර වූහ.

විටින් විට මහ ඇමැති ධුරය හිමිකර ගනිමින් සහ අහිමි කර ගනිමින් සිටි කරුණානිධි, බලයේ හිණිපෙත්තට නැංගේ 1989 වසරේ එම්.ජී.ආර්. මියයාමත් සමගය. නමුත් රජීව් ගාන්ධි ඝාතනයත් සමග ඔහුට නැවත ධුරය අහිමි විය. ඒ, අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනය කෙරුණේ ලංකාවේ LTTE සංවිධානයේ බෝම්බ ප්‍රහාරයකින් බව තහවුරු වීමත් සමගය. කරුණානිධි කලක් LTTE හිතවාදියෙකු ලෙස ප්‍රසිද්ධව සිටියේය.

නැවත ඔහු 1996 වසරේ බලයට පැමිණියේ ජයලලිතාට එරෙහිව දැඩි දූෂණ චෝදනා එල්ලවීමේ ප්‍රතිඵලයක් ලෙසය. එතැන් පටන්, 2016 වසරේ ජයලලිතා මහජන මතයෙන් දෙවන වතාවටත් මහ ඇමතිනිය බවට පත්වීමෙන් අනතුරුව කරුණානිධි නිහඬ ජීවිතයක් වෙත යොමු විය.

තමිල්නාඩු දේශපාලකයෙක් වුවද කරුණානිධි ලංකාවේ දේශපාලන සමාජ ආර්ථික ගැටලුවටද තදින්ම බලපෑම් එල්ල කළ හැකිවූ චරිතයකි. ලංකාවේ ජන ගැටලුව සහ LTTE සංවිධානය පිළිබඳ කරුණානිධි විසින් මතභේදාත්මක ප්‍රකාශ ගණනාවක් පළකර තිබේ.

ලංකාවේ දෙමළ ජනතාව පිලිබඳව වැඩියෙන්ම කතාකළ මෙන්ම ඔවුන්ට වෙනම භුමියක් අවශ්‍ය බවට බාහිර ලෝකයට ඇහෙන්නට මහා ප්‍රචාරයක් ගෙන ගිය තැනැත්තා ඔහුය. ලංකාවේ ඇතැයි උලුප්පා පෙන්නු ගැටලුව දඩමීමා කරගනිමින් තමිල්නාඩුව තුළ සිය ජනබලය  තහවුරු කරගත්  නමුදු  තමිල්නාඩුව තුළ වෙනම දමිළ රාජ්‍යයක් ඉල්ලා වචනයක්වත් කතා නොකරන්නට පරෙස්සම් වූ ඔහු කළ දුටු කළ වළ ඉහ ගන්නා සේ  LTTE සංවිධානය අවසන් මොහොතෙ අත්හැර දැමූ බවට විවේචන එල්ල වී තිබේ.

“ප්‍රභාකරන් මගේ හොඳ මිත්‍රයෙක්! නමුත් මා ත්‍රස්තවාදියෙක් නොවේ” යැයි වරක් ප්‍රසිද්ධියේ කී ඔහු එය කී දිනයට පසුදිනම &LTTE සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් නොවේ යැයි මා කිසිවිටෙක කීවේ නැහැ. රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් LTTEයට කිසිදා සමාව දෙන්නට බැහැ” යැයි කියා තිබුණි.

මේ සිදුවීම වාර්තා වූයේ LTTE සංවිධානය යුදමය වශයෙන් පරාජය වීමට දින කිහිපයකට පෙර 2009 අප්‍රේල් මාසයේය. පසුව විකිලීක්ස් මගින් හෙළිවූයේ දෙමළ ප්‍රශ්නය වෙනුවෙන් පෙනී නොසිටින්නේ නම් ඔහුව ඝාතනය කරන බවට LTTE සංවිධානය විසින් 1989 වසරේදී කරුණානිධිහට තර්ජනය කර තිබූ බවය.

එසේම කරුණානිධිගේ පසමිතුරෙකු වූ එම්.ජී.ආර්. හෙවත් එම්.ජී. රාමචන්ද්‍රන් LTTE සංවිධානය සමග පැවැත්වූ සමීප සබඳතා නිසා LTTEය  කරුණානිධිගේ හිත දිනාගත් කල්ලියක් බවට කිසිදිනක පත් නොවූ බවද විකි ලීක්ස් මගින් කළ තවත් හෙළිදරව්වක දැක්විණි. කෙසේ නමුත් තමිල්නාඩු දේශපාලනයේ ප්‍රියතම සහ මගහැරිය නොහැකි අංගයක්  බවට ලංකාවේ දමිළ ජනයා වෙනුවෙන් කිඹූල් කඳුළු හෙළීම ජනප්‍රියකිරීමට කරුණානිධි ලබා දුන්නේ ක්‍රියාකාරී ආදර්ශයකි. මේ නිසාම ඔහු “තමිල් ඉන්නාත්තලෛවර්” නැතිනම් දෙමළ කුල දෙටුවෙකු ලෙස බුහුමනට ලක්ව තිබුණි.

1956 වසරේ දී ලංකාව තුළ සිංහල රජ බස කරවිමේ ප්‍රතිපත්තිය කලඑළි බසින විට එයට එරෙහි මුල්ම විරෝධය තමිල්නාඩුව දෙසින් ඇරැඹූවේ ඔහුය. ලංකාවේ දමිළ ජන කැලඹීමේ  පියා හැටියට හඳුන්වා දිය හැකි එස්.ජේ.වී. චෙල්වනායගම් ඔහුගේ ළඟ මිතුරෙකි. අනෙක් තැනැත්තා ඒ. අමිර්තලිංගම්ය. 1977 සහ 1983 කාලයේ මෙරට හටගත් අවාසනාවන්ත සිදුවීම දඩමීමා කරගනිමින් ලෝකයටම පෙනෙන්නට තමිල්නාඩුව පුරා උද්ඝෝෂණ මුලින්ම ඇරුඹුවේ ඔහුගේ ප්‍රධානත්වයෙනි.

‘83න් පසු එම්.ජී. රාමචන්ද්‍රන්ගේ උදවු ලබා LTTE සංවිධානය තමිල්නාඩුව තුළ බලය පතුරද්දි කරුණානිධි සභාරත්නම්ගේ TELLO සංවිධානයට උඩගෙඩි දෙමින් ඊලාම් හිතවාදි TESO සංවිධානය ඇරැඹුවේය. 1986 මදුරායි නුවර පැවැත්වු මහා දමිළ හමුව ඔහුගේ ප්‍රයත්නයකි. ඒ.බී.වජ්පායි, සුබ්‍රමනියන්ස්වාමි, රාමාරාවෝ, එච්.එන්.බහුගුනන් ඇතුළු ප්‍රබල දමිළ අන්තවාදී පිරිසක් මෙයට එක්ව තිබුණි. කරුණානිධි LTTE සංවිධානය වෙතින් වෙන්කරන්නට බලපෑ මූලික ගැටුම හට ගන්නේ TELLO නායක සභාරත්නම් ඇතුළු පිරිස ඝාතනය කිරීමයි. සහෝදරයන් මරාගැනීමේ පිළිවෙත දමිළ නිදහස නොවන බව ඇදහූ ඔහු LTTE සංවිධානය වෙතින් දුරස් වීමට කටයුතු කළේය. ඉන්දිය සාම හමුදාවට එරෙහි වූ ඔහු කොසොවෝ, මොන්ටෙ නීග්‍රෝ, නැගෙනහිර ටිමෝර් පන්නයේ විසඳුමකට යොජනා ගෙන ආවේ යුද්ධය හමාරවූ පසුත් 2012දී නැවත TESO සංවිධානය අරඹමිනි. එසේ වුවද අවසන්කාලයේ ඔහුගේ ප්‍රතිරූපය බිඳ වැටී තිබුණි. ආම් වාද නොතැකූ හේතුවාදියෙකු ලෙස තමන්වම හඳුන්වාගන්නා ලද කරුණානිධි, 1940 ගණන්වල බ්‍රාහ්මීය කුලවාදයට එරෙහිව නැගුණු ද්‍රවිඩ ව්‍යාපාරය සහ හින්දි භාෂා විරෝධය සමග එක්ව ඇරැඹූ දැඩි මතධාරී ගමන හරහා දේශපාලනික වශයෙන් ඉහළට නැගුණු නායකයෙකි. ලේඛකයකු මෙන්ම විදග්ධ කථිකයකු ලෙස ප්‍රකට වූ ඔහු සිය ආධාරකරුවන් අතර දේවත්වයට සම සැලකුම් ලැබීය.

සුගත්

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30