2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

සිම්බාබ්වේ ඡන්ද ගින්න

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 22

නව සිම්බාබ්වේ රාජ්‍යයක උපත‘ බලාපොරොත්තුවෙන් ජන්ද තුනකට එකවර මුහුණදුන් සිම්බාබ්වෙ ජනතාව වැටුණේ කබලෙන් ලිපටය. මහ මැතිවරණය, ජනාධිපතිවරණය  සහ පළාත් ආයතන පුංචි ජන්දයද මෙවර දශක 3කට පසු එකවර පැවැත්විණි. මුලින්  ලැබුණේ මහ මැතිවරණ ප්‍රතිඵල පමණි. එයින් පාලක පක්ෂය ආසන 142ක් දිනා තිබේ. ප්‍රධාන විපක්ෂය ආසන 58ක සිමා වී ඇත. ආසන 10ක ගැටලු පැන නැඟී තිබේ. සිකුරාදා වනවිට ජනාධිපතිවරණ ප්‍රතිඵලයද නිකුත් විය. එයින් හිටපු උප ජනාධිපති එමර්සන් මානන්ගාවා බලය තහවුරු කරගෙන තිබුණේ සියයට 50.8 මනාපය දිනා ගනිමිනි. තරැණ ඉල්ලීම වූ විපක්ෂනායක කමිසා හට ලබාගත හැකිව තිබුණේ සියයට 44.3ක ජන කැමැත්තකි. සිය ජනමතය වංචාකළ බවට චෝදනා නඟමින් හරාරේ නගරය පුරා මහජන විරෝධතා හටගෙන තිබේ. 

වසර 37ක අති දූෂිත, ඒකාධිපති පාලනය අවසන් කරමින් සිම්බාබ්වේහි යාවජීව ජනාධිපති බවට පත්වන්නට තැනු රොබට් මුගාබේ ධුරයෙන් ඉවත් කෙරැණේ පසුගිය වසරේය. ඔහුව ඉවත් කිරීම සඳහා හමුදා පාලනයට මෙන්ම සිවිල් ජනතාවටද මැදිහත් වීමට සිදුවිය. ඔහු ඉවත්  කිරීමෙන් පසු පැවැත්වූ නව මැතිවරණයද වැඩි ජය ඔහු ආරම්භ කළ 37 වසරක් පාලන බලය දැරූ පක්ෂයටම හිමිවීමත් සමග රට පුරා විරෝධයේ ගිනි  දැල් ඇවිල ගියේය.

මෙවර මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මිලියන 5කට අධික සිම්බාබ්වේ ජනතාව ඉදිරිපත්ව සිටියහ. මෙවර මැතිවරණය සඳහා ප්‍රථම වතාවට ඡන්දය ප්‍රකාශ කරන තරුණ තරුණියෝ විශේෂ උනන්දුවක් දැක්වුහ. මෙවර සිම්බාබ්වේහි ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 50%ක් පමණම වයස අවුරුදු 35ට අඩු තරුණ අය වූහ.

ප්‍රජාතාන්ත්‍රික වෙනසක් බලාපොරොතුවෙන් ඔවුන් මෙවර උද්යෝගිමත් ජන්ද මෙහෙයුමක යෙදුණේ විරැකියාව තුරන් කර රට වැටී ඇති ආර්ථීක ගොහොරුවෙන් ගොඩගන්නා ජවසම්පන්න තරුණ නායකත්වයක් ඉදිරියට ගෙන එන්නට සිතාය. ඔවුන්ගේ සිහිනය වූයේ රටේ කැපී පෙනෙන තරුණ නායකයා වූ ප්‍රජාතන්ත්‍රවාදී  වෙනසක් සඳහා වූ ව්‍යාපාරය හෙවත් MDC පක්ෂයේ නායක නෙල්සන් කාමිසා රජ කරවීමය. කාසිමා සිම්බාබ්වේහි ප්‍රධාන විපක්ෂ ව්‍යාපාරයේ නායකයා වශයෙන් සැලකෙයි. ඔහු මුගාබේ පක්ෂයේ අලුත් බලකාමියා වන එමර්සන් මානන්ගාවාගේ ප්‍රධාන තරගකරුවා විය. නමුත්  වසර 16කට පසු සිම්බාබ්වේ රාජ්‍යය වෙත පැමිණීමට මෙවර හැකියාව ලැබූ යුරෝපා සංගමයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ මැතිවරණ නිරීක්ෂකයන්ද පෙන්වා දෙන පරිදි අයථා බලපෑම් මැද පැවැති බවට සැක කෙරෙන මැතිවරණ ප්‍රතිපලය  තරුණ පිරිසගේ සිහිනය බිඳ දැම්මේය. එහි ප්‍රතිපලය ලෙස විපක්ෂ කණ්ඩායම්  විදී බැස්ස අතර පොලිසිය සිය 37 වසරක් පුරුදු කළ අවම බලය යෙදීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කළහ. මේ නිසා රට පුරා ලේ වැගිරීම්, ගිනි තැබීම් දේපල හානි රැල්ලක් පැන නැග්ගේය. බදාදා හවස වනවිට පමණක් මරණ 3ක් වාර්තා විය. කාමීසා සිය පාක්ෂීකයන් අමතා කීවේ ලැබී ඇති මැතිවරණ ප්‍රතිඵලය සාමකාමිව පිළිගන්නා ලෙසටය.

රටේ සියයට 50කට වැඩි තරුණ කැමැත්ත දිනා සිටි නෙල්සන් කාමීසාගේ නොසිතූ විරූ පසුබෑමට වගකිවයුතුව ඇත්තේද බලයෙන් පහකර දැමූ වයස දැන් අවුරුදු 94ක්  වන නමුත් බලකාමය අතින් තවමත් තරුණ රොබට්  මුගාබේය.

රොබට් මුගාබේගේ ජනප්‍රියත්වය මේ වනවිට තරුණ පරපුර අතර පවතින්නේ බෙහෙවින් අඩු මට්ටමකය. ඔහුට රටේ වත්මන් ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් නැති බවත්, දශක 4කට පෙර සිම්බාබ්වේ රාජ්‍යය අධිරාජ්‍යවාදී පාලනයෙන් මුදවා ගත්තද රට සූරාකෑම හැර වෙන දෙයක් නොකළ බවටත් සිම්බාබ්වේ ජනතාව අතර ප්‍රබල මතයක්   මතුව තිබේ. මේ අනුව රොබට් මුගාබේ කෙරෙහි පවතින අප්‍රසාදය සානු පීඑෆ් පක්ෂයට අහිතකර ලෙස බලපෑ යුතුව තිබුණේ එය මුගාබේගේ පක්ෂය වන නිසාය. නමුත්   මුගාබේ මෙවර සිටියේ සිය පක්ෂය සමග නොව විපක්ෂය සමගය!

හිටපු  ඒකාධිපති පාලක රොබට් මුගාබේ ඉකුත් නොවැම්බරයේ බලයෙන් ඉවත් කළ පසු ප්‍රසිද්ධියේ දැකගත හැකි වූයේ කලාතුරකිනි. නමුත් පසුගිය මස (29) දා ඔහු හරාරේ අගනුවර තමන්ගේ the Blue Roof නමැති සුඛෝපභෝගී මන්දිරයේ සිට මාධ්‍ය හමුවක් පැවැත්වීය. පැය 2කට අධික කාලයක් කඩින් කඩ කළ ඒ කතාවේ මුළුමනින්ම ගැබ්ව  තිබුණේ වෛරය සහ බලකාමයයි. සිම්බාබ්වේ රජ පුටුව තමන්ට අහිමි කළවුන්ට සමාව නොදෙන බව ඔහු නොකියා කීවේය. එසේම තමන්ගේ ඡන්දය, Zanu-PF පක්ෂයේ සිය අනුප්‍රාප්තිකයා වූ එමර්සන් මනන්ගාවාහට සහ එම පක්ෂයට ලබා නොදෙන බවද ඔහු කීවේය. එසේම මෙවර කිසිදු අපේක්ෂකයෙකු හට සහයෝගය නොදෙන බවත් ඔහු පැවසුවේය. ඔහු සිය කතාවෙන් වක්‍රව ඇඟ වුයේ තමන්ද තරුණ ලේ සමග එකතුවන බවය. එනම් විපක්ෂයේ ජනකාන්ත චරිතය කාමිසාට ආධාර කරන බවය. ඒ සමගම රට තුළ පැවැති මුගාබේ විරෝධි රැල්ල තරුණ නායකයා, නෙල්සන් කාමිසා යටකර ගලා ගියේය. කළ දුටු තැන වළ ඉහ ගැනීමේ සමතෙක් වූ මුගාබේගේ පැරුණි අතිජාත  මිත්‍රයා වු ජනාධිපති මනන්ගාවා රටපුරා මඩ ප්‍රචාරය ගෙන ගියේ “මුගාබේ සමග කාමිසාගේ ‘ඩීල් එකක්’ තිබෙන බව අපි දන්නවා. සිම්බාබ්වේ ප්‍රතිසංස්කරණ වෙත ගෙන ගොස් රට ගොඩ නගන්නට කාසිමාට අවශ්‍යයි කියා අපි සිතන්නේ නැහැ” යැයි කියමිනි. අන්තිමේදි නව සිම්බාබ්වෙ රාජ්‍යයක උපත බලාපොරොත්තු වූ මිලියන 50කට අධික හුදී ජනතාවට මුහුණ දීමට වූයේ නොසිතු විරූ විපතකටය. මැතිවරණයෙන් සානු-පීඑෆ් පක්ෂයට තුනෙන් දෙකක බලයක් හිමිවී ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කිරීමත් සමග හරාරේ නගරයේ ප්‍රචණ්ඩ ක්‍රියා හටගත්තේය. රට පුරා විරෝධයේ ගිනි ඇවිල ගියේය. හමුදාව ගිනි අවි අමෝරා විදී බැස්සේය.

මේ පාර්ලිමේන්තු මැතිවරණයට සමගාමීව පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල තවම නිකුත්කර නොමැත. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අතීතයේදී සිම්බාබ්වේ රාජ්‍යය යටත් කරගෙන සිටි, එක්සත් රාජධානිය ද ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් තම අවධානය යොමුවී ඇති බව පවසයි. සංයමයෙන් කටයුතු කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස්, සිම්බාබ්වේ දේශපාලඥයන්ගෙන් ඉල්ලා සිටියේය. මේ අතර, අප්‍රිකානු කලාපය පිළිබඳ එක්සත් රාජධානියේ රාජ්‍ය අමාත්‍ය හැරියට් බෝල්ඩ්වින්  තමන් මේ සම්බන්ධයෙන් “බලවත් කණස්සල්ලට” පත්ව ඇති බව ප්‍රකාශ කළාය. හරාරේ පිහිටුවා ඇති ඇමෙරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් “සංයමයෙන් සිටින්න” යැයි හමුදාවෙන් ඉල්ලා සිටී. දීප්තිමත් අනාගතයක් සඳහා රට හමුවේ “ඓතිහාසික අවස්ථාවක්” උදාවී ඇති බවද එම පණිවුඩයේ දැක්වේ. මේ අතර, හමුදාවේ ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් සොයා බලන ලෙස ඇමනෙස්ටි ජාත්‍යන්තරයද රජයෙන් ඉල්ලා සිටී.

 

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31