2017 ජනවාරි 28 වන සෙනසුරාදා

බහායි සුළුජනයාගේ රහස් සරසවිය

 2017 ජනවාරි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 248

ඉරානයේ විශාලතම සුළු ජන ප්‍රජාව ලෙස සැළකෙන බහායි ජනතාව විවිධාකාරයෙන් අසාධාරණයට සහ පීඩාවට ලක් වූ ජනතාවකි. බහායි ජනවර්ගයට අයත් කිසිවෙකුට ඉරානයේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබීම තහනම්ය. 

මේ නිසා බහායි ප්‍රජාව විසින් ටෙහෙරාන් නගරය තුළ රහසේ පවත්වාගෙන යනු ලබන බහායි සුළු ජන ප්‍රජාවට පමණක් සීමා වූ “Bahai Institute for Hogher Education (BIHE)” නමැති සරසවියට ඇතුළු වී ඇතැමුන් උසස් අධ්‍යාපනය ලබති.

“රහසිගත සරසවිය” තුළින් ප්‍රථම උපාධිය දක්වා අධ්‍යාපනය ලැබිය හැකි නමුත් පශ්චාත් උපාධියක් ලබා ගැනීමට අපේක්ෂා කරන බහායි ජාතිකයෙකුට ඇති එකම විසඳුම වන්නේ ඉරානයෙන් පිටවී එතෙර විශ්ව විද්‍යාලයකට ඇතුළුවීමය.

ශිරින් සහ මෝනා යනු ඉරානයේ සාමාන්‍ය සරසවිවලට යැවූ අයැදුම්පත් ප්‍රතික්ෂේප වීමෙන් පසු “බහායි රහසිගත සරසවියෙන්” ප්‍රථම උපාධිය ලබා විදේශගත වූ බහායි සුළු ජන ප්‍රජාවට අයත් කාන්තාවන් දෙදෙනෙකි. ඒ අතරින් ශිරින් නමැති කාන්තාව තම ජීවිත අත්දැකීම මෙසේ හෙළිකර තිබේ.

“මට මතකයි මගේ පියා ඔහුගේ හිසේ තිබුණු තුවාල පෙන්නලා මට කියනව කුඩා කාලයේ ඔහු පාසැල් යනකොට නගරයේ ළමයින්ගේ ප්‍රහාරවලට ලක්වුණු හැටි” යනුවෙන් පැවසූ ඇය සඳහන් කළේ තමාද 1980 දශකයේ ඉරානයේ සිටියදී එවැනි අත්දැකීම්වලට මුහුණදුන් බව තම පියාගෙන් පවා වසන් කළ බවය. “මම හිතනව ඔහු ප්‍රාර්ථනා කළේ ලෝකය යහපත් අතට හැරේවා කියල. ඒ වගේම ඔහු බලාපොරොත්තු වුණා ලෝකය යහපත් අතට හැරෙයි කියල” යනුවෙන් ඇය පැවසුවාය.

ශිරින්ගේ පියා එසේ සිතුවද 1979 දී සිදුවුණු ඉස්ලාමීය විප්ලවයෙන් පසු බහායි සුළු ජන ප්‍රජාවට එරෙහි තාඩන පීඩන තවත් ඉහළ ගියේය.

බාබි නමින් හඳුන්වන බහායි ආගම ආරම්භ වූයේ දහනව වෙනි ශතවර්ෂයේ මැද භාගයේදීය. ඉරානයේ ෂියා මුස්ලිම් ජනතාව විසින් බහායිවරුන් අපගාමී පිරිසක් ලෙස සලකනු ලැබුවේ එහෙයිනි. එසේම බහායිවරුන් ෂියා මුස්ලිම්වරුන්ගේ ආගමික නායකයා වන මොහොමඩ් අවසාන ශාස්තෘවරයා ලෙස පිළි නොගැනීමද ගැටුමට තවත් හේතුවකි.

බහායි ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක මුහුණ දෙන ගැටලු උග්‍රවන්නේ පාසල් දිවිය නිමාකළ පසුවය.

ශිරින් පවසන ආකාරයට ඇයට රජයේ විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට නොහැකි විය. ඇයට තිබුණු එකම විසඳුම වුණේ රහසේ පවත්වාගෙන යන බහායි සුළු ජන ප්‍රජාවට පමණක් සීමා වූ බහායි උසස් අධ්‍යාපන ආයතනයට ඇතුළුවීමට පමණි.

මෙම සරසවි පාඨමාලාවේ දේශන පැවැත්වුණේ ටෙහෙරාන් නගරයේ විවිධ තැන්වල ඇති පෞද්ගලික නිවෙස්වලදීය. පාඨමාලාව අවසන් කිරීම සඳහා ඇයට වසර හයක් ගතව තිබේ. ඈ පිළිබඳ හෙළිදරව් වීමත් සමග බහායි ප්‍රජාවට අයත් විද්වතුන්ට එරෙහි ප්‍රහාරයක් ද දියත් කෙරුණි. බහායි අධ්‍යාපන ආයතනයට අයත් පන්තිකාමර සෝදිසි කිරීම ආරම්භ වූ අතර එම ආයතනයේ ආචාර්ය මණ්ඩලය අත්අඩංගුවට ගැණුනි. තමා ඉදිරිපිටදීම තමා සිහින මැවූ අනාගත ලෝකය බිඳ වැටෙන අයුරු බලා සිටිනවා හැරෙන්නට ශිරින්ට කළ හැකි දෙයක් නොවීය. 

එක්සත් රාජධානියේ ගෘහසේවිකා වීසා පිළිබඳ ඇයට අසන්නට ලැබුණේ මෙවිටය. ඇය ඒ මග තෝරාගත්තාය. “මම ඉක්මණින්ම අයැදුම් කළා. මොන විදියේ වීසා එකකින් හරි කමක් නැහැ මට රටින් පිටවෙන්නයි අවශ්‍ය වුණේ” යනුවෙන් ඇය පැවසුවාය.

2003 වසරේ දී ශිරින් එක්සත් රාජධානියට පැමිණියාය. ගෘහ සේවිකාවක් ලෙස සේවය කරන අතරතුර ස්කාබරෝ ප්‍රදේශයේ ඉතාලියානු ආපන ශාලාවක රැකියාවක් ද සොයාගත්තාය. එහෙත් තමා පැමිණි අරමුණ සිත තුළ අධිෂ්ඨානශීලී ලෙස තැන්පත් කර ගත්තාය. කෙසේ හෝ එක්තරා උදැසනක බර්මිංහැම් විශ්වවිද්‍යාලයේ දොරටුවෙන් ඇතුළු වූ ඇය තමන්ට ටෙහෙරාන් නුවර රහසිගත විශ්වවිද්‍යාලයකින් ආගම විෂය සඳහා උපාධියක් ඇති බව පැවසුවාය. අධ්‍යාපනය ලැබීමට ඇති කැමැත්ත නොසඟවා සරසවි බලධාරීන්ට හෙළි කළාය. ඇය නොසිතූ අයුරින් සතියකට පසු බර්මිංහැම් විශ්වවිද්‍යාලයෙන් ඇයට කැඳවීමක් ලැබුණේ ශිෂ්‍යාවක ලෙස ඇය බඳවාගත් බව දන්වමිනි.

“ඒක ආශ්චර්යයකටත් වඩා වැඩි දෙයක්. මම බලාපොරොත්තු වුනු මගේ සිහිනයටත් වඩා වැඩි දෙයක්. අදටත් මගේ ජීවිතයේදී ලබපු වටිනාම ත්‍යාගය ඒක කියලයි මට හිතෙන්නේ” යනුවෙන් ඇය පවසන්නීය.

2006 වසරේදී තම උපාධිය නිමකළ ශිරින් අමෙරිකාවේ සිටින තම සහෝදරයා වෙත ගියාය. ශිරින් ඇතුළු බොහොමයක් බහායි ජනප්‍රජාව අමෙරිකාවේ ජීවත් වෙති. එය ඔවුන්ට අභයභූමියක් වැනිය.

ශිරින් ලද අත්දැකීමෙන් කලකට පසු මෝනා නම් තවත් බහායි තරුණියක් ටෙහෙරානයේ විශ්වවිද්‍යාලවලට අයැදුම්කර තිබුණි. තමා ඉස්ලාම් භක්තිකයෙකු නොවන බව සඳහන් කිරීමෙන් පසු ඇයට ලැබුණේද ඊට වසර දහයකට පෙර ශිරින්ට ලැබුණු පිළිතුරමය.

වෙනත් විකල්පයක් නොවූ හෙයින් මෝනා ද ශිරින් මෙන්ම රහසිගත සරසවියෙන් උපාධිය සමත්වී සිටි හෙයින් අන්තර්ජාතික ආගමික සරණාගතයන් සඳහා වූ වීසා ක්‍රමයක් ඔස්සේ 2009 වසරේ දී අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට ගියාය. මෝනා දැන් කොලොම්බියා සරසවියෙන් මනෝවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් දිනා සිටින්නීය.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00