2018 ජුලි 28 වන සෙනසුරාදා

ලංකාවට හිතැති එංගලන්ත මන්ත්‍රීට තහනමක්!

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 66

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මෙතෙක් කලකට පැනවුණු දීර්ඝතම පාර්ලිමේන්තු තහනම උතුරු අයර්ලන්තයේ, උතුරු ඇන්ට්‍රිම් ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන ඉයන් පෙයිස්ලි හට පනවා තිබේ. පාර්ලිමේන්තු නීති කඩකිරීම හේතුවෙන් මන්ත්‍රී ඉයන් පෙයිස්ලිට දින 30ක පාර්ලිමේන්තු තහනමක් පැනවීමට පක්ෂව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිය ඡන්දය ප්‍රකාශ කළහ. මේ තහනමට ආසන්නතම හේතුව ඔහු ලංකාවට පක්ෂපාතී ලෙස කටයුතු කිරීමය. 

ඒ අනුව 2013 වසරේදී දෙවරක් සිය පවුලත් සමඟ ශ්‍රී ලංකා ආණ්ඩුවේ වියදමින් සංචාරයේ යෙදීම පිළිබඳ සාධාරණ හේතු හෙළිකිරීමට අපොහොසත් වීම දඩමීමා කරගනිමින් ඉයන් පෙයිස්ලිට මෙලෙස පාර්ලිමේන්තුව තහනම් කර තිබේ. විශේෂ කමිටුවක් මගින් ක්‍රියාත්මක කළ පරීක්ෂණවලින් පසුව මෙම තීරණය දන්වා ඇත. ඔහු උතුරු අයර්ලන්තයේ එක්සත්  ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජිකයෙකි. ඉයන් පෙයිස්ලි මහජන නියෝජිතයෙකු ලෙස තේරී පත්වූයේ 1996 වර්ෂයේදීය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු විශේෂ කමිටුවක් ඉදිරිපත් කළ වාර්තාවකට අනුව ඉයන් පෙයිස්ලි පහත සඳහන් නීති කඩකර තිබේ.

2014 මාර්තු මස 19 වෙනි දින බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ යෝජනාවකට සහයෝගය පළ නොකරන ලෙස ඉල්ලා ඇත. මෙම ඉල්ලීම ශ්‍රී ලංකාව වෙනුවෙන් කරන විශාල උපකාරයක් ලෙස දක්වා තිබුණි. නමුත් ඉන් පෙර මාස දොළහ තුළ ශ්‍රී ලංකා රජයෙන් ඔහුට පෞද්ගලික වාසි සහ ආගන්තුක සත්කාර ලැබී ඇති බවට වාර්තාවී තිබේ.

අග්‍රාමාත්‍යවරයා වෙත යැවූ  එම  ලිපියේ දි  ශ්‍රී ලංකා රජයෙන් තමන්ට ලැබුණු පෞද්ගලික වාසි සහ ආගන්තුක සත්කාර පිළිබඳ සඳහන් කිරීමට ඔහු අපොහොසත් වීමෙන් පාර්ලිමේන්තුවේ නීති රීති කඩ කර ඇති බව කමිටුවේ අදහසයි. 2013 මාර්තු සහ අප්‍රේල් මාසවලදී පවුලේ සාමාජිකයන් සමඟ ශ්‍රී ලංකාවේ කළ සංචාර දෙක ගැන පාර්ලිමේන්තුව විසින් එකඟ වූ දින 28ක කාලය ඇතුළත සාධාරණ කරුණු ඉදිරිපත් කිරීමට අසමත්වීමද වරදක් ලෙස දක්වා ඇත. මෙම වාර්තාව සඳහන් “කාරණයේ බරපතලකම” සලකා බැලීමෙන් පසු කමිටුව තීරණය කරන ලද්දේ 2018 සැප්තැම්බර් 4 සිට දින 30 ක කාලයක් ඉයන් පෙයිස්ලි සේවයෙන් ඉවත් විය යුතු බවය.

“ද ඩේලි ටෙලිග්‍රාෆ්” පුවත්පත මේ පිළිබඳ 2017 වසරේ සැප්තැම්බර් මස මුලින්ම වාර්තා කර තිබුණි. පාර්ලිමේන්තු තහනම පිළිබඳ තීරණය තමන් පිළිගන්නා නමුත් “ද ඩේලි ටෙලිග්‍රාෆ්හි” පළවූ වාර්තාව පිළිබඳ තමන්ට ගැටලු ඇති බව ඉයන් පෙයිස්ලි පැවසීය. ඔහු සිය ක්‍රියාව ගැන සමාව ඉල්ලා ඇතත්, ඔහුට මෙම  පාර්ලිමේන්තු තහනම පැනවුන අතර, සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බලපෑම්ද එල්ල වෙමින් තිබේ.

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00