2018 ජුලි 28 වන සෙනසුරාදා

ලෙන් කටෙන් පැවිදි බිමට

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 161

තායිලන්තයේ ලෙනක සිරවී සිටියදී බේරාගන්නා ලද පාපන්දු කණ්ඩායමකට අයත් පිරිමි දරුවෝ පසුගියදා සාමණේර හිමිවරුන් ලෙස පැවිදි දිවියට පිවිසීම ලෝක මාධ්‍යවල සුවිශේෂී තැනක් හිමිකර ගත්තේය. “අකේ” යනුවෙන් හඳුන්වන ඔවුන්ගේ පුහුණුකරුද මේ අය සමග පැවිදි දිවියට ඇතුළත් විය. ක්‍රිස්තියානි භක්තිකයෙක් වූ බැවින් එක් පිරිමි දරුවකු මීට සහභාගී නොවුණි. “විපත් සමය” සිහිපත් කිරීමේ තායිලන්ත සම්ප්‍රදාය අනුව යමින් මෙම කණ්ඩායම දින නවයක් විවිධ ආශ්‍රමවල කාලය ගතකරනු ඇත. භාවනා කරමින්, වන්දනා මාන කරමින් සහ ආශ්‍රම පිරිසිදු කරගනිමින් අගෝස්තු 4 වෙනිදා දක්වා විවිධ ආශ්‍රමයන්හි ඔවුන් කාලය ගතකරනු ඇත.

ඉතා අසීරු මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මුදවා ගැනීමට ප්‍රථම, සති දෙකක කාලයක් මෙම කණ්ඩායම ලෙන තුළ සිරවී සිටියේය. මුදවා ගැනීමෙන් අනතුරුව රෝහල් ගතකෙරුණු ළමුන් සියලුදෙනා, පසුගිය සතියේ ඉන් පිටව ගිය අතර ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් සිටින බව වාර්තා විය.

විසිපස් හැවිරිදි පුහුණුකරුහට සාමණේර භාවය වෙනුවට ඔහු පූර්ණ භික්ෂු භාවය ලබනු ඇත. ඔහු මෙම සිද්ධියට මුහුණදීමට ප්‍රථම සාමණේර ලෙස ආශ්‍රමයක කාලය ගතකර තිබෙන හෙයිනි. ළමයින් සමග ලෙනට යාම පිළිබඳව “අකේ” ඇතැමුන්ගේ විවේචනයට ලක්වුනත්, දරුවන්ට භාවනා ක්‍රම උගන්වමින් තැන්පත්ව සිටීමට කියාදුන් හේතුවෙන් ඔහු අගය කිරීමටද ලක්විය.