2018 ජුලි 28 වන සෙනසුරාදා

අඟහරු මත දිය විලක්

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 147

අඟහරු දක්ෂිණ ධ්‍රැවය ආසන්නයේ අයිස් තට්ටුව යට දිය පිරි “විලක්” ඇති බව සොයාගෙන ඇත. නව සොයාගැනීම කර තිබෙන්නේ යුරෝපීය අභාවකාශ ඒජන්සිය විසින් යවන ලද මාර්ස් එක්ස්ප්‍රස් ඕබිටර් යානයේ සවිකර ඇති මාර්සිස් (Marsis) නම් වූ රේඩාර් උපකරණය ආශ්‍රයෙනි. විද්වතුන් විශ්වාස කරන ආකාරයට කිලෝමීටර 20ක් දුරට විහිදුණු මෙම විල පිහිටා තිබෙන්නේ අඟහරු ග්‍රහයාගේ දක්ෂිණ ධ්‍රැවයේ අයිස් තට්ටුව යටය.

අඟහරු ග්‍රහයාගේ මතුපිට ඉඳහිට ගලායන ද්‍රව ජලය අතිතයේ තිබුණා යැයි සැලකිය හැකි සාක්ෂි මීට පෙර පර්යේෂණවලදි හඳුනා ගැනුණ ද වර්තමානයේ ග්‍රහලෝකය මත අඛණ්ඩව දියරමය තත්ත්වයෙන් ජලය පැවතීම පිළිබඳ සනාථ කරන පළමු සාක්ෂිය මෙය වේ. නාසා කියුරියෝසිටි රෝවරයෙන් ගවේෂණය කරන ලද වැව් තාවුලු වැනි ප්‍රදේශවලින් අතීතයේදී අඟහරු මතුපිට ජලය තිබූ බවට සාධක තහවුරු කරගන තිබුණි.

අඟහරු සතු ඉතා තුනී වායුගෝලය හේතුවෙන් ග්‍රහලෝකයේ කාලගුණය සිසිල්වීමට පටන්ගත් අතර එතැන සිට එහි වූ බහුතර ජලය අයිස් තුළ සිරවිණි. ජල ස්ථරයේ ගැඹුර කොතෙක්දැයි නිගමනය කිරීමට මාර්සිස් හට හැකියාව ලැබී නැතත් පර්යේෂණ කණ්ඩායම් ඇස්තමේන්තු කරන පරිදි එහි අවම ප්‍රමාණය මීටරයක් පමණ  වේ. අඟහරු මත අතීත හෝ වර්තමාන ජීවයක් පැවැත්ම ගැන උනන්දුවක් දක්වන පාර්ශ්ව හට මේ සොයා ගැනීමෙන් කුතුහලය දනවන අපේක්ෂාවක් තිළිණ කර තිබේ. ජලය ජීවයේ මුලික තැනුම් ඒකකයක් වන අතර ජිවය පිළිබඳ සලකුනු හඹායන්නෝ මුලින්ම ඉව කරන්නෙ ජලය  පිළිබඳ හෝඩුවාවන්ය. ජලය හඹායාම පිළිබඳ මේ මූලධර්මය, පෘථිවියෙන් එහා තිබිය හැකි ජීවය පිළිබඳ අධ්‍යයනය එනම් තරකා ජීව විද්‍යාවේ මූලික කරුණකි.

මීට පෙර මහපොළොව මත ඇන්ටාක්ටිකාහි යටවී ඇති වොස්ටොක් විලේ බැක්ටීරියාමය ජීවය සොයාගන්නට විද්‍යාඥයින්ට හැකිවිය. ඒ ඇන්ටාක්ටිකා හිමතලය විදීමෙනි. මේ අනුව ජීවය සොයා අඟහරු මත විදීමක් ඉදිරියේදී සිදුකිරීමට අපේක්ෂා සහගත ව්‍යාපෘතියක් ඇරැඹීමට නියමිතය.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00