2018 ජුලි 28 වන සෙනසුරාදා

ඉම්රාන් පාකිස්ථාන මහ පුටුවට

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 213

හමුදා බලපෑමෙන් යුතු කුමන්ත්‍රණකාරී ආණ්ඩුවලට ප්‍රසිද්ධ පාකිස්ථානයේ දශක 7කට  පසු පැවති ආන්දෝලනාත්මකම මැතිවරණය හමාර වූයේ එරට ලෝක ක්‍රිකට් කූසලානය දිනූදා දක්නට ලැබුණූ අසිරිය පරදන මහා සැණකෙළි සිරියක් මවමිනි. රටේ ඉහළම ජනකාන්ත බවක් දිනා සිටින සුපිරි ක්‍රිකට් තරුව ඉම්රාන් ඛාන් 1992දී ලෝක කුසලානය සිය රටට දිනා ගන්නට සැපැයූවාක් බඳු ජවසම්පන්න නායකත්වයක් මගින්, ආර්ථිකයෙන් ඇද වැටී ත්‍රස්තවාදී ග්‍රහණයෙන් අඩපණව, දූෂණ වංචා ගොහොරුවේ ගිලී සිටිනා පාකිස්ථානය ලෝකයේ අංක එකට රැගෙන එන්නට සමත්වනු ඇතැයි යන සිහිනයේ මුල් පියවර සැබෑ වී ඇති හෙයිනි. වසර 22කට පමණ පෙර ඔහු පිහිටුවා ගත් තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය කැපී පෙනෙන ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත්ව සිටී. සමස්ත ආසන 272න් 115ක් එයට හිමිවිය. එහෙත් තනිව බලය පිහිටුවීමට අවශ්‍ය බහුතරය වන 137 ලබා ගැනීම සඳහා ඔහුට  දේශපාලනික හවුල් දීගයකට එළඹීමට සිදුව ඇත. නමුත් දැන් පාකිස්ථාන ජනතාව කලකට පසු පවුල් වාදයෙන් මිදුණු අලුත් අදහස් දරන පෙරළිකාර නායකත්වයක මඟ පෙන්වීම සඳහා සැණකෙළි මැද ලකලැස්තිව සිටිති.

මෙවර පාකිස්ථාන මහ මැතිවරණය ඇරඹුණේ භීෂණය මැදය. මෙම මස මුලදී පාකිස්ථානයේ මස්තුන්ග් නගරයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයෝ 149 දෙනකු පමණ මියගියහ. එම ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය විසින් භාර ගන්නා ලදී. ඡන්දය ඔන්න මෙන්න කියා බලොචිස්තාන ප්‍රාන්තයේ ක්වෙටා නගරයේ සිදු වූ 31 දෙකුට මරු කැඳවූ බෝම්බ පිපිරීම ඡන්ද මධ්‍යස්ථානයක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් ඉලක්ක කර එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයක් බව දැන් බලධාරියෝ පවසති. තවත් ස්ථාන කීපයකින් වාර්තා වූ සුළු පිපිරීම් සහ දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් එක් අයකු මියගොස් කීප දෙනකු තුවාල ලබා තිබුණි.

මැතිවරණ ප්‍රචාරක කටයුතු පුරාවට දූෂණ, වංචා සහ ප්‍රචණ්ඩත්වය දැකිය හැකිවිය. ඡන්ද වංචා කිරීමට දැරූ “අශෝබන” උත්සාහයන් බොහොමයක් වාර්තා වී ඇති බව පාකිස්ථානයේ මානව හිමිකම් කොමිසමට චෝදනා එල්ල කළේය.

මැතිවරණය පැවැත්වෙන කාලය තුළ රට පුරා ආරක්ෂාව තර කර තිබූ අතර 800,000කට අධික හමුදා භටයින් පිරිසක් යොදවා තිබුණි. නමුත් මේ සියල්ල මධ්‍යයේ ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි අඩුවක්ද නොවීය. පාකිස්ථානයට දේශපාලන ආරාවුල් ආගන්තුක නොවන අතර, එය පසුගිය මාස කීපය ඇතුළතද දක්නට ලැබිණි.

පසුගිය මැතිවරණය ජයග්‍රහණය කළ පුද්ගලයා වන  හිටපු  අගමැති නවාස් ෂෙරීෆ් මෙවර මැතිවරණය නරඹන්නේ සිර මැදිරියේ සිටය. 2015 දී පැනමා ලිපිගොනුවලින් අනාවරණය වූ පරිදි ලන්ඩන් නගරයේ අධි සුඛෝපභෝගී මහල් නිවාස හතරක් මිලදී ගැනීමේදී සිදුකළ දූෂණ සම්බන්ධයෙන් ඔහු පසුගියදා සිරභාරයට පත් වුණි. එම දූෂණවලට සම්බන්ධ වීම හේතුවෙන් නවාස් ෂෙරීෆ්ගේ දියණිය වන මාරියම් නවාස් ෂරීෆ්ට වසර හතක සිර දඬුවමක් සහ ඔහුගේ බෑනා වන සෆ්දාර් අවාන්ට වසරක සිර දඬුවමක් නියම විය. ඉම්රාන් අහමඩ් කාන් නියාසී රටේ මහ පුටුවට එන්නෙ එබඳු වාතාවරණයක් තුළය.

1987 දී පාකිස්ථානයේ නායකයා වූයේ හමුදා පෙරැළියකින් බලයට ආ සියා උල් හක් ජනාධිපතිවරයාය. ඔහු එම වසරේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නට සූදානම්ව සිටි ඒ වනවිටත් ලෝකය පුරා ජනකාන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන සිටි ඉම්රාන් ඛාන් වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළේය. ඒ ඉදිරි වසර 5ක කාලයට තම රටේ ක්‍රිකට් පිලේ නායකත්වය දරන ලෙසටය. පාකිස්ථාන ජනතාවගේ හද තුළ පරම්පරා ගණනාවක් යනතුරුද නොමැකෙන නමක් බවට ඉම්රාන් පත්වන්නේ ඒ ඉල්ලීමේ ප්‍රතිඵල ලෙසය. 1992 වසරේ ලෝක ක්‍රිකට් කුසලානය පාකිස්ථානයට ගෙන ඒමත් සමඟිනි. මෙයින් වසර හතරකට පසු 1996දී ඉම්රාන් අලුත් දේශපාලන පක්ෂයක් ඇරඹූ කල බොහෝදෙනා සිතුවේ මේ සෙල්ලක්කාර වීරයාද පාකිස්ථාන ජරාජීර්ණ දේශපාලන ගොහොරුවේ ගිලී නැසෙනු ඇති කියාය. ඒ වනවිටත් ඉම්රාන් සතුව තිබුණේ කොට්ට මාරු කරන්නාක් මෙන් කෙල්ලන් මාරු කරන ඔක්ස්ෆර්ඩ් ආටෝපය සහිත රොමෑන්ටික් ප්‍රතිරූපයකි. නමුත් වසර 22කට පසුව රටක් පිළිගත් මිලියන ගණනකගේ ගැලවුම්කාර ඉසිවරයා ලෙස පත්කර ගැනීමට තරම් බරසාර චරිතයක් බවට ඔහු පත්ව තිබේ.

ක්‍රිකට් සහ ඉම්රාන් යනු එක සමාන පද ලෙස කියැවෙන්නකි. පන්ජාබයට අයත් ලාහෝරයේ පාරම්පරික පවුලක එකම පිරිමි දරුවා ලෙස 1957 ඔක්තෝබර් 5 දින උපත ලබන ඔහු පන්දුව අතට ගන්නේ වයස අවුරැදු 9දීය. වයස අවුරුදු 16 වනවිට ඔහු සිය පළමු පෙළ මංගල දස්කම් දක්වා අවසන්ය. ලාහෝරයේ මූලික අධ්‍යාපනය නිමවා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළත්ව සිටියදීම පාකිස්ථාන පිල නියෝජනයට තෝරාගනු ලැබේ. ඔහුගේ නියම දස්කම් එළිදැක්වෙන්නේ 1974 දී එංගලන්තයට එරෙහිව සිය මංගල ටෙස්ට්  කඩුල්ල ලබාගැනීමත් සමඟිනි. 1992 දී පාකිස්ථානයට ලෝක ශූරතාව දිනා දී පිටියෙන් සමුගන්නා විට ටෙස්ට් තරග 88කදී ලකුණු 3807ක් ලබා කඩුලු 362ක් බිඳ හෙළා තිබුණි. අවසන් ටෙස්ට් තරගයට මුහුණ දුන්නේ ලංකාවත් සමගිනි. එක් දින තරග 175කදී ලකුණු 3709ක් ලබා කඩුලු 182ක් බිඳ දමා ඇත. ටෙස්ට් පන්දු 19458ක්ද එක්දින සඳහා පන්දු 7461ක්ද යවා තිබේ. තුන් ඉරියව්වේම කැපී පෙනෙන ක්‍රීඩකයකු ලෙස ප්‍රසිද්ධ ඉම්රාන් ටෙස්ට් තරග උඩපන්දු 28ක්ද එක්දින උඩපන්දු 36ක්ද රැකගෙන තිබේ. එක් ඉනිමකදී කඩුලු 5ක් ලබා ගැනීමේ දස්කම ඔහු ටෙස්ට් පිටියේදී 23න් වතාවක් දක්වා තිබේ.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් ඉම්රාන් 1994දී සිය මවගේ නමින් ඩොලර් මිලියන 25ක වියදමින් ලාහෝරයේ සුඛෝපභෝගී පළමු පෙළ පිළිකා රෝහලක් තැනුවේය. පසුව පෙෂාවෝර්හිදී තවත් පිළිකා රෝහලක් තනන ලදී. ඔහු සිය දේශපාලන පක්ෂය අරඹා 2002දී විරුද්ධ පක්ෂ සාමාජිකයකු ලෙස පාර්ලිමේන්තුවට එක්ව 2007තෙක්ද පසුව 2013තෙක්ද කටයුතු කරන්නේ සභාව තුළද ඉන් පිටතද විප්ලවකාරී චරිතයක් බවට පත් වෙමිනි. ඔහුගේ පක්ෂය ඉතා ටික කලකින්ම රටේ ජනප්‍රියතම පක්ෂය බවට පත්වන්නේ නවාස් ෂරීෆ්ගේ පාලක පක්ෂයට පමණක් දෙවැනි වෙමිනි. ඛාන් පාකිස්ථානයේ රාජ්‍ය බලය පිළිබඳ තීරණාත්මක ආයතනය වන හමුදාව තුළද කැපී පෙනෙන හාදයෙකි.

ක්‍රිකට් පිටියෙන් සමුගත් පසු ඉම්රාන් ක්‍රීඩා විචාරකයකු ලෙස කටයුතු කළේය. පාකිස්ථාන පිලට මුල් තැන දෙමින්  ඔහූ ලියු ක්‍රිකට් විමසුම් ලිපි Gaurdian, Outlook, Independent, Telegraph, වැනි ජාත්‍යන්තර මාධ්‍යවල පලවිය. ඔහු සිය ජීවිත කතාව මෙන්ම රට ගැනද විචාරාත්මක දැක්මක් ඇතුළත් පොත් 6කට ආසන්න සංඛ්‍යාවක් ලියා තිබේ. ඔහුගේ කතාව සිනමාවට ද නැගී ඇත. ඔහුට ගැහැනු හුටපට බොහෝය. වයිට් බැරන්වරයාගේ දෝණියැන්දා සමග වූ හාදකම අවසන් වූයේ දියණියක ලැබීමෙනි. 1995දි ඒ හුටපටයට නඩු වැටී තිබියදී එවකට 43න් හැවිරිදිව සිටි ඉම්රාන් 21 හැවිරිදි ජෙමීමා ගෝල්ඩ්ස්මිත් සමඟ විවාහ වූයේ මිනිත්තු දෙකකට සීමා වූ උර්දු ක්‍රමයේ උත්සවයකිනි. මේ විවාහය ඕපාදූප රැසකට මුල් වූ අතර වසර 9කට පසු දික්කසාදයකින් කෙළවර විය. දෙවනුව ඔහු පාකිස්ථාන බ්‍රිතාන්‍ය සම්භවයක් ඇති මාධ්‍යවේදිනියක වන රේහාම් ඛාන් අතගත් අතර එය වසරකට සීමා විය. මේ වසර මුල වාර්තා වූයේ ඔහු සිය අධ්‍යාත්මික උපදේශීකාව වන බෂ්රා මනිකා විවාහ කරගත් බවය. ඒ අනුව පාකිස්ථාන නව අගමැති ධූරයට හවුල් පක්ෂ දීගයකින් පත්වන්නට නියමිත ඉම්රාන් ඛාන්ගේ අගමැති ආර්යාව වීමේ වාසනව උදා වී ඇත්තේ මේ 3 වැනි භාර්යාව වන මනිකා හටය. ඒත් එය යස ඉසුරු පිරි තනතුරක් වන්නට ඉඩ නැත්තේ ඉම්රාන් දැනටමත් අගමැති මැදුරේ වාසයට අකමැති බව කියා තිබෙන නිසාය. පාකිස්ථානය මුස්ලිම් ලෝකයේ තවත් මක්කමක් බඳු මැදහත් රටක් කරන්නටත් අසල්වැසි ඉන්දියාව සමඟ ඇති ඓතිහාසික හිත් නොහොඳකම් අත්හැරීමටත් කටයුතු කරන අතර සිය රට ඇදවැටී ඇති ආර්ථීක දේශපාලනික ගොහොරුවෙන් ගොඩගැනීමටත් ඉම්රාන් දැනටමත් පොරොන්දු දී තිබේ.