2018 ජුලි 21 වන සෙනසුරාදා

බිඳවැටුණ ආර්ථිකයට ජැක් ගහන ගම්පෙරළිය

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 107
 
වැඩසටහනේ සමාරම්භක උත්සවයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රටේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳ ඉතාම කනස්සල්ලෙන් කතා කළ බවට මාධ්‍ය වාර්තා කර තිබුණි.ඔහු පවසා තිබුණේ රටේ ගම්බද ප්‍රදේශවල ආර්ථිකය සම්පූර්ණයෙන්ම පාහේ බිඳවැටී ඇති අතර සමස්ත වශයෙන් සියයට 30 ක් පමණ රටේ ආර්ථිකය කඩාවැටී ඇති බවයි. ජනතාව අත මුදල් නොගැවසෙන බව පැවසූ අගමැතිවරයා අනාවරණය කළේ මුළු රටේම මුදල් පරිහරණය අඩුව ඇති බවයි.
 
රටේ අගමැතිවරයා පැවසූ මෙම ප්‍රකාශය කිසිලෙසකින්වත් සුළුකොට තැකිය නොහැකි අතර මේ පිළිබඳ රටට ආදරයක් දක්වන සැමගේම අවධානය යොමුවිය යුතුව ඇත. ගම්පෙරළිය වැඩසටහන මගින් ගමේ ආර්ථිකය වර්ධනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ අගය කළ යුතු නමුත් අද වන විට රටේ ආර්ථිකය බිඳවැටීමට බලපා ඇති හේතු සොයා බලා පිළියම් යෙදීම අවශ්‍ය බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වේ. එම දුර්වලතාවලට පිළියම් යෙදිය හැකි වුවහොත් එය ගම්පෙරළිය වැඩසටහන තුළින් බලාපොරොත්තු වන සංවර්ධනය යථාර්ථයක් කර ගැනීමට පහසු වෙනවා ඇත.
 
කෙසේ වුවද රටේ ආර්ථිකය යහපත් මට්ටමක පවතීද යන්න නිගමනය කළ හැක්කේ රාජ්‍ය ආයතනවල දත්ත හා සංඛ්‍යාලේඛනවලට වඩා ජනතාව ගත කරන ජීවිත ගැන සැලකීමෙන් බව වැඩිදෙනාගේ මතයයි. රටේ ආර්ථික වර්ධනය දියුණු යැයි සංඛ්‍යාලේඛන අනුව පැවසුවද ජනතාවට එදිනෙදා ජීවත් විය නොහැකි දුක්ඛිත තත්ත්වයක් උද්ගතව තිබේ නම් ඔය කියන සංඛ්‍යාලේඛන පිළිබඳ සැක උපදී. අගමැතිවරයාම පවසන පරිදි ජනතාව අතේ මුදල් නැත. මුදල් සංසරණය අඩුව තිබේ. එසේ නම් ආර්ථිකය වර්ධනය වී ඇතැයි සනාථ කිරීමට යාම අසාර්ථක ප්‍රයත්නයකි.
 
රටේ ආර්ථිකය පිළිබඳ දත්ත ඉදිරිපත් කරන්නේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවයි. එම ආයතනයට රටේ ආර්ථිකය මනින ක්‍රම සහ විධි තිබේ. මෙම දෙපාර්තමේන්තුව පවතින්නේද අගමැතිවරයා යටතේ තිබෙන ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ වීම සුවිශේෂ වෙයි. එයින් නිකුත් කරන සංඛ්‍යාලේඛන පිළිගන්නට අගමැතිවරයාට වුවද හැකිද යන්න පිළිබඳවද ගැටලු මතුවේ.
 
පසුගිය වර්ෂවලදී මෙන් 2018 වසරේ මුල් කාර්තුවේ ආර්ථික වර්ධන අගයන් පිළිබඳ සලකා බැලීමේදී ඇත්ත වශයෙන්ම ආර්ථික වර්ධනය වුවමනාවෙන් වැඩිකර පෙන්වීමට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව උත්සාහ ගෙන තිබේද යන සැකය මතුවේ. ආණ්ඩුව 2017 වසර සඳහා බලාපොරොත්තු වූයේ සියයට 6ක පමණ ආර්ථික වර්ධන වේගයකි. එහෙත් එය සියයට 3.1 දක්වා පහළ ගොස් තිබූ බව වර්ෂය අග වන විට අනාවරණය විය. බලාපොරොත්තු වූ ආර්ථික වර්ධන වේගය ලබාගත නොහැකි වූ බවට මහ බැංකුවටම පිළිගන්නට සිදුව තිබේ.
 
එසේම 2017 පළමු කාර්තුව හා සංසන්දනය කිරීමේදී ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වර්ෂය මැද හා අග ආර්ථික වර්ධන වේග දෙකක් නිවේදනය කිරීමද ගැටලු මතුව ඇත. රටක ආර්ථික වර්ධනය ගණනය කරනුයේ දළ දේශීය නිෂ්පාදිතය පදනම් කරගෙනය. දළ දේශීය නිෂ්පාදිතය යනු රටේ සෑම අංශයකින්ම ලබන ඵලදායිතාවේ සාමාන්‍ය වේ. ආර්ථික වර්ධනය ගණනය කරන්නේ කිසියම් වර්ෂයක දළ දේශීය නිෂ්පාදිතය ඊට පෙර වර්ෂයේ එම කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතය හා සංසන්දනය කිරීමෙනි. ඒ අනුව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2017 හා 2018 වර්ෂවල ආර්ථික වර්ධන වේගය සඳහන් කරමින් වාර්තා දෙකක් නිකුත් කර තිබේ. ඒ 2017 දෙසැම්බර් 15 දින හා 2018-06-18 යන දින දෙකේදීය. මෙලෙස හය මාසයක් ගතවන විට දත්තයන් දෙකක් ඉදිරිපත් කළේ ඇයිද යන්න ගැටලුවකි. 2017 අග හා 2018 මුල ඉදිරිපත් කළ වාර්තා දෙක අනුව මුලින් ඉදිරිපත් කළ සියයට 2.7 ආර්ථික වර්ධන වේගය පසුව 3.2 දක්වා වැඩි වී ඇත. මුල් වාරයේ මිලියන 59109ක් වූ වර්ධනය දෙවන වර 68885 දක්වා වැඩිවී ඇත.
 
මෙලෙස මුලින් පැවසූ ආර්ථික වර්ධන වේගය පසුව වැඩිවීම පිළිබඳ ආර්ථික විශ්ලේෂකයන්ගේ අවධානය යොමුව ඇත. එකම කාලයක් පිළිබඳ එකම දෙපාර්තමේන්තුවක් විවිධ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරනුයේ යම් බලපෑමක් නිසාදෝයි සැක පහළ කරන්නෝ වෙති.
 
කෙසේ වුවද මෙවැනි ව්‍යාකූලතා නිසා සංඛ්‍යාලේඛනවලට වඩා ප්‍රායෝගික තත්ත්වය පිළිබඳ සැලකිය යුතු යැයි පවසන්නන් වැඩි වී ඇත. මෙම දත්ත යම් තරමකට හෝ වැරදි නම් ඒවා පාදක කරගෙන අපේ ආර්ථිකය පිළිබඳ පුරෝකතන ඉදිරිපත් කිරීම සාධාරණ නොවන බව පෙනී යයි. 2017 හා 2018 සංසන්දනය කරන විට පෙනීයන කරැණක් නම් 2018 ඉදිරි කාලයේදී රටේ ආර්ථිකය තවදුරටත් දුර්වල වනු ඇති බවය. එයට හේතුව තත්ත්වය යහපත් කිරීමේ සාර්ථක ක්‍රමවේදයන් මෙතෙක් දියත් කර නොමැති වීමය.
 
අපේ රටේ ආර්ථිකය නංවාලීමට නම් අතීතයේ රජ කාලයේ මෙන්ම කෘෂිකර්මය ප්‍රමුඛත්වයේලා කටයුතු කළ යුතුය යන්න බොහෝ දෙනාගේ මතයකි. එහෙත් ඇතැම් බලධාරීන් උත්සාහ කරන්නේ රට කර්මාන්තපුරයක් බවට පත් කිරීමටය. රට සිංගප්පූරුවක් බවට පත් කිරීමටද ඇතැම් දේශපාලනඥයෝ කැස කවති. මේ නිසාම රටට ආවේණික කෘෂිකර්මාන්තය දියුණු කිරීමට ගන්නා උත්සාහය අවමය. සියල්ල කාලගුණයට බාරදී බේරෙන්නට ඔවුහු උත්සාහ ගනිති.
 
2016/17 මහ සහ 2017 යල යන කන්න දෙකෙහි වී නිෂ්පාදනය සැලකිය යුතු ලෙස පහළ වැටීම හේතුවෙන් පසුගිය දශකයේ පැවැති අඩුම නිෂ්පාදනය වාර්තා කරමින් සමස්ත වී නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 2363 දක්වා සියයට 46.1කින් පහළ ගියේය. මේ හේතුවෙන් 2017 සහල් නිෂ්පාදනය දේශීය ඉල්ලුමෙන් මාස අටක් පමණක් සපුරාලීමට ප්‍රමාණවත් විය.
 
2017 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ රටේ වී නිෂ්පාදනය අඩුවීම පිළිබඳ දක්වා ඇත. රටේ පොල් නිෂ්පාදනයද ගෙඩි මිලියන 2450 දක්වා සියයට 18.7කින් පහළ යාම හේතුවෙන් පොල් ගෙඩියක සාමාන්‍ය සිල්ලර මිල රුපියල් 67.40 ලෙස සියයට 47.1කින් ඉහළ ගොස් ඇති බවද මහ බැංකුව කියයි. එසේම 2016/17 මහ හා 2017 යල කන්නයේදී එළවළු නිෂ්පාදනය පහළ ගිය බවද මහ බැංකු වාර්තාවේ සඳහන්ය.
 
මේ අනුව අපට පෙනී යන්නේ රටේ ආර්ථික වර්ධනය පහළ යාමට මූලික හේතුව වී ඇත්තේ අපේ කෘෂි නිෂ්පාදන වර්ධනය වසරින් වසර පහළ බැසීම බවය. ඒ නිසා රටේ ආර්ථිකය දියුණු කිරීමට කතා කරන හැම කෙනකුම ප්‍රථම කොට කෘෂි ආර්ථිකය නගාසිටුවීමට කටයුතු කළ යුතු බව අවධාරණය කෙරේ. කෘෂිකර්මය නගාසිටුවීමට ස්ථාපිත කර ඇති ආයතන රැසක් ඇති නමුත් කෘෂිකර්ම විෂය හැර අනිත් සැමදෙයකම එම ආයතන නිරතවන බව නම් දක්නට පුළුවන.
 
අපේ රටේ ආනයන පාලනයට බලධරයන් නිසිලෙස මැදහත් වන බවක් පෙනෙන්නට නැත. ඕනෑම භාණ්ඩයක් හිඟවූ විට මිල ඉහළ යන විට එය වහාම ආනයනය කිරීමට බලධරයෝ තීරණය කරති. එලෙස කටයුතු කරනුයේ දේශපාලන වාසි ලබාගැනීමට මිස රටේ ආර්ථිකය ගැන සලකා නොවේ. අවශ්‍ය මෙන්ම අනවශ්‍ය භාණ්ඩද හිතේ හැටියට ආනයනය කර නගරයේ පදික වේදිකා පුරවා තිබෙනු පෙනේ. අපනයන වර්ධනය කිරීම පිළිබඳව විධිමත් සැලසුමක් අපට නොමැත. තේ, පොල්, රබර් වැනි සාම්ප්‍රදායික අපනයන ක්‍රමයෙන් දුර්වල වන විට එම අඩුව පිරවීම සඳහා අපනයන විවිධාංගීකරණය කළ යුතුව ඇත. සාම්ප්‍රදායික නොවන විවිධ අපනයන හඳුන්වා දිය යුතුවෙයි. අපේ රටේ අපනයන සංවර්ධනය සඳහා යැයි කියාගත් රාජ්‍ය ආයතන රුසක් තිබුණද ඒ තුළින් නිසිලෙස අපනයන ප්‍රවර්ධන වැඩසටහන් දියත් නොකරන බව පෙනෙන්නට තිබේ. එයට සාක්ෂි දරන්නේ 2014 වසරේ සිට අපේ අපනයන ආදායම ක්‍රමයෙන් පහළ වැටී තිබෙන අයුරුය.
 
වර්ෂය           අපනයන ආදායම අ.ඩො. බිලියන
2014                11.1
2015                10.5
2016                10.3
2017                10.0
 
මේ හැරුණු විට අපට ඉහළම විදේශ විනිමය ලැබෙන මාර්ගයක් වන විදේශ රැකියාලාභීන් මෙරටට එවන මුදල් 2017 හා 2018 වසරවල ක්‍රමයෙන් පහළ වැටෙමින් පවතී. එයට හේතු දෙකක් තිබේ. ඉන් එකක් වන්නේ රුපියලේ විදේශ අගය සීඝ්‍රයෙන් අවප්‍රමාණ වන විට විදේශ රුකියාලාභීන් සිය ප්‍රේෂණ ශ්‍රී ලංකාවට නොඑවා රඳවා තබාගැනීමයි. එයට හේතුව වන්නේ රුපියල අවප්‍රමාණය වන වේගය අනුව අනාගතයේදී තවදුරටත් අවප්‍රමාණ වුවහොත් තම ඩොලර් ආදායම වැඩි රුපියල් ප්‍රමාණයක් ලබාගත හැකි යැයි උපකල්පනය කිරීමය. අනෙක් හේතුව වන්නේ ආණ්ඩුව විදේශ ප්‍රේෂණවලින් බද්දක් අයකිරීමට සූදානම් වන බව සැලවීමය. විදේශ මුදල් රටට ගෙන ඒමට දිරි දිය යුතුව තිබියදී ඒ සඳහා බදු අය කරන්නට යාම ඔවුන් බියගැන්වීමට හේතු වී ඇත. ඒ නිසා බොහෝ දෙනා තමා උපයන මුදල් මෙරටට නොඑවා එම රටවල හෝ වෙනත් රටවල බැංකුවල තැන්පත් කිරීමේ ප්‍රවණතාවක් ඇති වී තිබේ. මෙම තත්ත්වය ආර්ථික වශයෙන් අපට විශාල හානියක් වෙයි.
 
කෙසේ වුවද 2017 වසරේදී විදේශ සේවා නියුක්ති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2221.7කින් හෙවත් සියයට 6.3කින් පහළ බැස ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර තිබුණි. 2018 වසර වන විට විදේශ රැකියා නියුක්තියන්ට සිදුවන බලපෑම් හමුවේ මේ වසරේදී එම තත්ත්වය තවත් උග්‍රවනු ඇතැයි සිතාගත හැකිය.
 
එසේම රජයේ ආදායම හා වියදම අතර පරතරයද වසරින් වසර ඉහළ යන ප්‍රවණතාවක් පවතී. එයට හේතුව ජාතික ආදායම ජනිත කරලීමට අයවැය මගින් කරන යෝජනා ක්‍රියාත්මක කිරීමේදී මුහුණපාන්නට වන දුෂ්කරතා සහ රාජ්‍ය වියදම නිසිලෙස කළමනාකරණය කිරීමට රජය අපොහොසත් වීමය.
 
2018 වසරේ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2326කට හා වියදම බිලියන 3001කට ඇස්තමේන්තු කර ඇති අතර ආදායමෙන් බිලියන 2316 ක් දේශීය බදුවලින් පියවාගැනීමට බලාපොරොත්තු වේ. එහෙත් සිරිතක් වශයෙන් අප දකින්නේ බලාපොරොත්තු වන ආදායම පහළ බසින අතර වියදම අනපේක්ෂිත ලෙස ඉහළ යාමය.
 
ආණ්ඩුව ඉවක් බවක් නැතිව ලබාගන්නා ණය මුදල්ද රටේ ආර්ථිකය අඩාල කිරීමට හේතු වී ඇත. එයට හේතුව ලබාගන්නා ණයවලින් අරඹන ව්‍යාපෘතිවලින් ලැබෙන ආදායමෙන් ණය පියවිය යුතු නමුත් ණයවලින් සිදුකරන ව්‍යාපෘතිවලින් ආදායමක් නොලැබීම නිසා ණය ගෙවීමට තවත් ණය ගන්නට සිදුව තිබීමය. ලොව ණය බර අධික රටවල් 20 අතරට ශ්‍රී ලංකාවද අයත් වේ. ශ්‍රී ලංකාවේ ණය බර දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 80 ඉක්මවා ඇත. අපේ රටේ ණය බර දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ඉතියෝපියාව හා උගන්ඩාව ආදී ඌන සංවර්ධිත රටවල ණය ප්‍රතිශතයද ඉක්මවා ගොස් ඇති බව ජාත්‍යන්තර මූඩිස් සමීක්ෂණ සේවාව (International Moodys Investors Service) මෑතකදී ප්‍රකාශ කර තිබුණි.
 
පකිස්තානය හා මාලදිවයින යනාදී ආසියාතික රටවල් අධික ණය බරකින් යුක්ත වන නමුත් ඒ රටවල සමස්ත ණය බරට වඩා අපේ රටේ ණය බර ඉහළ බව කියැවේ.
 
ගෙවී ගිය වසර 2 ½ තුළ රටේ ණය ප්‍රමාණය රැපියල් බිලියන 2773කින් ඉහළ ගොස් ඇති නමුත් 2006 සිට 2014 දක්වා වසර 9 ක් තුළ රටේ ණය බර වැඩිව තිබුණේ බිලියන 5169කින් පමණක් බව මහ බැංකු වාර්තා සඳහන් කරයි. රටේ ඒකපුද්ගල ණය බර (කෙනකු ගෙවිය යුතු ණය) 2017 වන විට රැපියල් 5,17,278 ක් වෙයි. 2018 වන විට මේ තත්ත්වය තවත් ඉහළ නගිනු විනා පහළ බැසීමට හේතුවක් නොමැත.
 
ඉහත කරුණු කාරණා නිසා අපේ රටේ ආර්ථික තත්ත්වය වේගයෙන් දුර්වල වන බව පෙනෙන්නට තිබේ. ඒ නිසා ගම්පෙරළිය හෝ ග්‍රාම ශක්ති වැනි කුමන වැඩපිළිවෙළකින් හෝ ආර්ථිකය නගාසිටුවීමට කඩිනම් පියවර ගත යුතු බව බලධාරීන් අවධාරණය කරගත යුතුවෙයි.
 
 යසවර්ධන රුද්රිගු
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30