2018 ජුලි 14 වන සෙනසුරාදා

ට්‍රම්ප් එංගලන්තයට දෙහි කපයි

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 276

ලෝකයේ නාහෙට නාහන දඩබ්බරයා ලෙස එතෙක් කැපී පෙනුණු උතුරු කොරියානු මහත මිට්ටා සමඟ කවුරුත් නොසිතූ ලෙස සාම කතාවක් අරඹා ලෝකයා අන්ද මන්ද කළ ට්‍රම්ප් පසුගිය සතියේ තවත් එබඳු පුවත් මවන ක්‍රියාවක යෙදුණේය. ඔහුගේ පදවි ප්‍රාප්තියෙන් පසු පැවැත්වූ මුල්ම එංගලන්ත චාරිකාවේදීය. මේ රාජකීය ගමනේදී ට්‍රම්ප් යුරෝපයෙන් දික්කසාද වීමේ එංගලන්ත බ්‍රෙක්සිට් පලහිලව්ව දැන් පත්ව ඇති සුරතල් ලතාව ගැන අගමැතිනි තෙරේසා මේ, හට හොඳටම දෙහි කැපුවේය. එයින් නොනැවතී ලන්ඩන් නගරාධිපතිවරයා ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන්නකු ලෙස හැඳින්වූයේය. හිටපු විදෙස් ලේකම් බොරිස් ජොන්සන් ආණ්ඩුවේ නොමැතිවීම ගැන නොක්කාඩු කීවේය. තමන්ගේ සංක්‍රමණික විරෝධී තියරිය ද නැවත ප්‍රසිද්ධියේ ඇද බෑවේය.

ඉකුත් සතියේ බ්‍රහස්පතින්දා සවස ට්‍රම්ප් හා මෙලනියා ට්‍රම්ප්, මහා බ්‍රිතාන්‍යයට ගොඩබැස්සේ සිය පළමු සවාරිය බ්‍රිතාන්‍ය වැසියන්ගේ විරෝධයට තදබල ලෙස ලක්ව තිබියදීය. ඔහු රාත්‍රී ලැගුම් ගන්නට නියමිතව තිබූ ලන්ඩන් නගරයේ රිජන්ට් පාක්හි  වින්ෆීල්ඩ් හවුස්  අමෙරිකානු තානාපති කාර්යාලය අවටත් කළු ටයි රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්වූ හිටපු අගමැති වින්සන්ට් චර්චිල් උපන් ස්ථානය වන බ්ලෙන්හෙයිම් මාලිගය අසලත් දහස් ගණනක් විරෝධතා කරුවෝ රැස්කෑහ. ට්‍රම්ප් කුණුකන්ද ට්‍රම්ප් බොරැකාරයා වර්ගවාදය පිටුදකිමු ට්‍රම්ප් පිටුදකිමු ඇතුළු අපහාසාත්මක මෙන්ම උපහාසාත්මක නර්මාලාප පුවරු රැගත් පිරිස උද්ඝෝෂණය කරද්දී ට්‍රම්ප් සහ මෙලනියා යුවල බ්ලෙන්හෙයිම් බලා ගියේ අමෙරිකානු ජනපතිවරයාට අයත් මැරැයින් වන් දිය ගොඩ දෙක සරන හැකියාවෙන් යුතු හෙලිකොප්ටරය මගිනි. ඊට පෙර ට්‍රම්ප් හා මෙලනියා රාජකීය ඇඳුමෙන් සැරුසී වෙල්ෂ්, අයිරිෂ්, ස්කොට් බෑන්ඩ් තූර්යවාදන ආචාර මුරයකට සහභාගි වූහ.

බ්ලෙම්හෙයිම් හි කළු ටයි රෑ කෑමට 150ක් පමණ වූ පිරිසකට ආරාධනා ලැබී තිබුණි. ස්කොට්ලන්ත සැමන් කුට්ටි, හරක් මස් පෙති සමඟ ට්‍රම්ප්ට නැතිවම බැරි අතුරුපස වන ක්‍රීම් යෙදූ ස්ට්‍රෝබෙරි ඇතිරෑ අයිස්ක්‍රීම් ද මේ රෑ කෑමට එක්ව තිබුණි.

අගමැතිනි තෙෙර්සා මේ, ගෙන යන රෑවුලත් ඕනෑ කැඳත් ඕනෑ ආකාරයේ මෘදු සුරතල් බ්‍රෙක්සිට් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ හෙවත් යුරෝපය අතහැර අමෙරිකාවට ලංවීමේ ක්‍රියාදාමය ට්‍රම්ප්ගේ දැඩි විවේචනයට ලක්වූයේ මෙතැනදීය. එක්කෝ යුරෝපය, එක්කෝ ඇමෙරිකාව, දොන් සිමන් දෙකම බැහැ යන්න ට්‍රම්ප්ගේ තියරිය විය. ඔවුන් යුරෝපය අත් නොහැරියොත් අපි යුරෝපයට ළං වෙනවා ට්‍රම්ප් මෙහිදී කීවේය. ලන්ඩන් නගරාධිපතිවරයාගේ ක්‍රියා කලාපය දැඩි විවේචනයට ලක්කළ ට්‍රම්ප්, හිටපු ආරක්ෂක ලේකම් බොරිස් ජොන්සන් ඉවත්වීම ගැන කනගාටුවද ප්‍රකාශ කළේය. තෙරේසා මේ ප්‍රකාශයක් කරමින් බ්‍රිතාන්‍යය සහ අමෙරිකාව දෙරට අතර ඉහළ ආයෝජනයන්හි යෙදෙන බව පෙන්වා දුන්නාය. ඈ කීවේ තමන් චීනයට වඩා සියයට 20ක් වැඩි අායෝජනයක යෙදෙන බවය. ජර්මනිය හා ප්‍රංශය දෙරටටම වඩා අමෙරිකාව තුළ ආයෝජනය කර ඇති බවය. බ්‍රෙක්සිට් කියන්නේ බ්‍රෙක්සිට් බෙදී වෙන්වීම ජනතාව ඡන්දේ දුන්නේ ඒකට. අපේ මුදල් ගැන අපිට බලාගන්න කියලයි ඔවුන් කියන්නේ. ට්‍රම්ප් සිය ස්ථාවරය පැහැදිලි කළේය. මේ ඔහු නොකියා කියන්නේ යුරෝපය අතහැර දමන ලෙසටය. ට්‍රම්ප් මේ සංචාරයේදී තමන් ඉතා ගරුකරන තැනැත්තියක වන මහරැජන හමුවීමටද අමතක කළේ නැත.