2018 ජුලි 14 වන සෙනසුරාදා

වසර 42කට පසුව ආ ජපානයේ මහා ගංවතුර

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 170

1976න් පසු වාර්තාගත දැඩිම වර්ෂාපතනය පතිත වීමෙන් බටහිර ජපානයේ ඇති වූ මහා  ගංවතුර සහ නායයෑමට ගොදුරු වූ සංඛ්‍යාව 200ට ආසන්න බව අවසන් වරට වාර්තා විය. ගං දෑල බිඳ වැටී ඉවුරැ දොගොඩ තලා ගංඟා පිටාර යද්දී ලක්ෂ 20කට ආසන්න පිරිසක් ප්‍රදේශයෙන් ඉවත් කරන්නට යෙදුණි. ජපානයේ බටහිර ප්‍රදේශයට ජූලි මස සාමාන්‍යයෙන් ලැබෙන වර්ෂාපතනය මෙන් තුන් ගුණයක් මෙවර වැසි ඇදහැලී තිබේ.

මියගිය පුද්ගලයන්ගේ සිරුරු සහ තවදුරටත් ජීවත්ව සිටින අය සොයා සහන සේවා කණ්ඩායම් තවමත්  ක්‍රියාත්මක වෙමින් සිටිති. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ හිරෝෂිමා ප්‍රාන්තයෙනි.

ගලවා ගැනීමේ හමුදාව කාලයට එරෙහිව වැඩ කරනවා යැයි ප්‍රදේශයට ගිය අගමැති ෂින්සෝ අබේ පැවසීය. මේ වනවිට 70,000ට වැඩි සහන සේවක පිරිසක් සමග ගිනි නිවන හමුදාව මෙන්ම යුද හමුදාවද ජීවිත ගලවා ගැනීමේ වැඩට බැස තිබේ.