2018 ජුලි 07 වන සෙනසුරාදා

ලෙන් උගුලෙන් ගැලවෙන මං සොයති

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 389

විනෝදය පතා ලෙනකට ඇතුළු වූ තායිලන්ත පාපන්දු පුහුණුකරු හා ඔහුගේ ගෝලයන් 12 දෙනාට සිදුවූයේ කුමක්ද යන්න පසුගිය සතියේ මාධ්‍ය කැළඹූ පුවත විය. එය වඩාත් දරුණු වූයේ මේ අය ගලවාන්නට ගිය පළපුරුදු නේවි සීල් භටයකු ලෙන් තුළ සිරවී ඔක්සිජන් හිඟයකින් මියයාම නිසාය. අතුරුදන්ව දින නවයකට පසු සඳුදා බ්‍රිතාන්‍ය ජාතික කිමිදුම්කරුවකු හට මේ සිසු පිරිස හමුවූයේ ලෙන් මුවදොර සිට කිලෝමීටර හතරක් පමණ ඈත පර්වතයක රැඳී සිටියදීය.

ඔවුන් ලෙනට ඇතුළු වූ ජූනි 23 වියළි දිනයකි. සෙල්ලම් ගමනක් යන්නට සිතූ පිරිස පාපන්දු පුහුණුවෙන් පසු ලෙනට ඇතුළු වූහ. සෙල්ලම ලෙල්ලම වූයේ අනෝරා වැසි කඩා වැටීමත් සමඟය. ලෙන තුළ වතුර පිරෙද්දී ක්‍රමයෙන් ඈත ස්ථාන කරා ගිය පිරිස ජලයේ කොටුවූහ. රජය අන්තර්ජාතික සහය රැගෙන දිවි ගලවා ගැනීමේ මෙහෙයුම ඇරඹූ අතර දින 9කට පසු කුසගින්නේ මරණ බයෙන් මුසපත්ව සිටි පිරිස හමුවිය. නමුත් ලොකුම ගැටලුව දැන්ය. දිගින් දිගට ඇදහැලෙන වර්ෂාව ලෙන තුළ මහා ගංඟාවක් නිර්මාණය කර ඇති අතර මෙහි ජලය බැස යන්නේ ඔක්තෝබර් මාසයේ පමණය. එයට පෙර මෙයින් පිට විය හැක්කේ කිමිදීමෙනි. නමුත් මේ පිරිස කිමිදුම් ශිල්ප නොදනිති. දැනට ලෙන තුළට විදුලිය ආහාර ඖෂධ ලබාදී ඇති අතර දුරකතන පහසුවද ලබාදී හමාරය. මේ වනවිට විකල්ප ගැලවීමේ මාර්ග ගැන අවධානය යොමුව ඇත.